දේශගුණික විපර්යාස හේතුවෙන් ඇතිවිය හැකි හදිසි ආපදා සහ ස්වභාවික තත්ත්වයන්ට මුහුණ දීම සඳහා පුළුල් සහ ඒකාබද්ධ වැඩපිළිවෙළක අවශ්‍යතාව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පෙන්වා දෙයි. නාරාහේන්පිට නිල මැදුරේ පැවති කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී ඇය මේ බව සඳහන් කළාය.

පසුගිය නොවැම්බර් 06 වැනිදා අධික වර්ෂාව හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ ඇතිවූ ජල ගැලීම් සහ ආපදා තත්ත්වයන් පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමු කෙරිණි. ආපදා කළමනාකරණය යනු එක් අංශයකට පමණක් සීමා විය යුතු කාර්යයක් නොවන බවත්, විවිධ ක්ෂේත්‍රවල මැදිහත්වීමෙන් සිදුවිය හැකි හානි අවම කර ගැනීමට කටයුතු කළ යුතු බවත් අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළාය.

කොළඹ දිස්ත්‍රික්කයේ පවතින ගංවතුර තත්ත්වයන් දිගු කලක් තිස්සේ විසඳුම් නොලැබුණු ගැටලු රැසක ප්‍රතිඵලයක් බව අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නාය. ඒ අනුව, කසළ කළමනාකරණය, අපද්‍රව්‍ය බැහැර කිරීම, ජල මාර්ග පවත්වාගෙන යාම සහ පහත් බිම් සංරක්ෂණය වැනි පුළුල් වැඩපිළිවෙළක් හරහා මෙම ගැටලුවලට ස්ථිර විසඳුම් සෙවිය යුතු බව ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

මෙම සාකච්ඡාවේදී කොළඹ දිස්ත්‍රික් ලේකම් ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර මහතා විසින් දිස්ත්‍රික්කය තුළ ගංවතුර පාලනය කිරීම සඳහා දැනට ක්‍රියාත්මක කෙරෙන ප්‍රධාන ව්‍යාපෘති පිළිබඳව කරුණු ඉදිරිපත් කරනු ලැබීය.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version