පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණය නවීන මට්ටමකට සංවර්ධනය කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා පවසයි.

අමාත්‍යවරයා අද (12) අලුයම එම වෙළඳ සංකීර්ණයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අතර, එහිදී වෙළඳුන් සහ සේවකයන් මුහුණ දෙන ගැටලු පිළිබඳව ද සාකච්ඡා කළේය.

මෙම වෙළඳ සංකීර්ණය දේශීය පාරිභෝගිකයන්ට පමණක් නොව, විදේශීය සංචාරකයන්ට ද පහසුවෙන් පැමිණිය හැකි නවීන පහසුකම් සහිත ස්ථානයක් බවට පත් කිරීම රජයේ අපේක්ෂාවයි. ධීවර කර්මාන්තය රටට වැඩි ආදායමක් ලැබෙන නවීන වෙළඳ ක්ෂේත්‍රයක් බවට පත් කිරීමට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡා පවත්වා ඇති බවත්, ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ඉදිරි අයවැයෙන් වෙන් කිරීමට අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

එමෙන්ම, වෙළඳ සංකීර්ණය තුළ සිදුවන අක්‍රමිකතා සහ පීඩාවන් අවම කර, පාරිභෝගිකයන්ට බියකින් තොරව ගනුදෙනු කළ හැකි විනයගරුක පරිසරයක් ගොඩනැගීමේ අවශ්‍යතාවය ද ඔහු අවධාරණය කළේය.

වෙළඳුන් සහ සේවකයන් මුහුණ දෙන ගැටලුවලට කඩිනම් විසඳුම් ලබා දීමට රජය පියවර ගන්නා බවත්, වෙළඳ සංකීර්ණයේ ආරක්ෂාව සහ සංවර්ධනය වෙනුවෙන් වෙළඳ ප්‍රජාවගේ දායකත්වය අත්‍යවශ්‍ය බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version