චීනයේ යුනාන් පළාතේ පිහිටි චෙංජියැං ෆොසිල අඩවිය ලෝක ස්වාභාවික උරුම කෞතුකාගාරය වෙත ශ්‍රී ලාංකික මාධ්‍යවේදීන් පිරිසක් පසුගියදා සංචාරයක නිරත විය. පෘථිවියේ වසර මිලියන ගණනක අතීතය සහ ජීවයේ පරිණාමය පිළිබඳව සජීවී අත්දැකීමක් ලබා ගැනීමට මෙම සංචාරය ඉවහල් විය.

දර්ශනීය ෆුක්සියන් විල අසල පිහිටි මෙම කෞතුකාගාරය යුනෙස්කෝ ලෝක උරුම ස්ථානයක් ලෙස නම් කර ඇත. මිනිසාගේ පැමිණීමට බොහෝ කලකට පෙර, එනම් වසර මිලියන 500කට වඩා පැරණි සමුද්‍ර පරිසර පද්ධති පිළිබඳව මෙහිදී පුළුල් අවබෝධයක් ලබාගත හැකිය.

කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇති ඩයිනෝසෝර බිත්තර සහ කළල පොසිල විශේෂ අවධානයක් දිනා ගනී. ජියැන්ග්සි සහ ගන්ෂෝ ප්‍රදේශවලින් සොයාගත් මෙම දුර්ලභ සාක්ෂි මගින් ඩයිනෝසෝරයන්ගේ ප්‍රජනන හැසිරීම් සහ කූඩු තැනීමේ රටා පිළිබඳව විද්‍යාත්මක තොරතුරු රැසක් අනාවරණය කර ඇත.

ප්‍රාග් ඓතිහාසික යුගයට අමතරව, ස්වභාවික විපත් සහ වඳවී ගිය සත්ත්ව විශේෂ පිළිබඳවද මෙහිදී කරුණු ඉදිරිපත් කෙරේ. විශේෂයෙන්ම මානව ක්‍රියාකාරකම් නිසා පරිසරයට සිදුවන බලපෑම් සහ ජෛව විවිධත්වය ආරක්ෂා කර ගැනීමේ වැදගත්කම පිළිබඳවද මෙම කෞතුකාගාරය මගින් පණිවිඩයක් ලබා දෙයි.

එමෙන්ම යුනාන් කලාපයේ මුල් ශිෂ්ටාචාරවලට අයත් පුරාවස්තු සහ දේශීය ජනතාවගේ පරිසර හිතකාමී ධීවර පිළිවෙත් පිළිබඳවද මෙහිදී දැකගත හැකිය. අති නවීන තාක්ෂණය සහ විද්‍යාත්මක පර්යේෂණ ඒකාබද්ධ කරමින් පවත්වාගෙන යන මෙම මධ්‍යස්ථානය, ස්වාභාවික උරුමයන් අනාගත පරපුර වෙනුවෙන් සංරක්ෂණය කරන ආකාරය පිළිබඳව කදිම නිදසුනකි.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version