වත්මන් රජය බලයට පත්වීම සඳහා ලබාදුන් පොරොන්දු ඉටු නොකර ගොවීන්, ධීවරයන් සහ රාජ්‍ය සේවකයින් දැඩි අසීරුතාවකට පත් කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. සංවර්ධන නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කළේය.

නිදහස් අධ්‍යාපනය හරහා උපාධි ලබා රාජ්‍ය සේවයට එක්වූ දහස් සංඛ්‍යාත තරුණ පිරිසක් වෙනුවෙන් මෙතෙක් නිසි සේවා ව්‍යවස්ථාවක් සකස් කර නොමැති වීම බරපතළ ගැටලුවක් බව විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය. බඳවා ගැනීමේ විභාග නොපැවැත්වීම, උසස්වීම් ක්‍රමවේදවල පවතින ගැටලු සහ වැටුප් විෂමතා හේතුවෙන් රාජ්‍ය සේවකයින් පීඩාවට පත්ව සිටින බව ඔහු වැඩිදුරටත් පැවසීය.

ජනාධිපතිවරණ සමයේදී ලබාදුන් පොරොන්දු ඉටු කිරීමට රජය අපොහොසත් වී ඇති බවට චෝදනා කළ සජිත් ප්‍රේමදාස මහතා, විශ්‍රාමිකයින්ට ලබාදුන් පොලී සහන අහිමි වී ඇති බවත්, ගොවීන්ට සහ ධීවරයින්ට පොරොන්දු වූ සහන සහ ස්ථාවර මිල ක්‍රමවේද ක්‍රියාත්මක නොවන බවත් අවධාරණය කළේය.

ජනතාවගේ ජීවන වියදම ඉහළ ගොස් තිබියදී රජය ඉදිරිපත් කරන ආර්ථික සංඛ්‍යා ලේඛන සැබෑ තත්ත්වය නිරූපණය නොකරන බව ඔහු සඳහන් කළේය. තෙල් මිල, විදුලි බිල සහ ආපදා සහන සම්බන්ධයෙන් රජය ලබාදුන් පොරොන්දු ඉටු වී නොමැති බව පෙන්වා දුන් විපක්ෂ නායකවරයා, මේ සම්බන්ධයෙන් ලබන සතියේ පාර්ලිමේන්තුවේදී දැඩිව කරුණු මතු කරන බව ද ප්‍රකාශ කළේය.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version