මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ තමන්ට එරෙහිව ගොනු කර ඇති නඩුවේ ‘කුමන්ත්‍රණය’ නමැති චෝදනාව පවත්වාගෙන යෑමට නොහැකි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා ගොනු කර තිබූ පෙත්සම් විභාගය අභියාචනාධිකරණය හමුවේ ඊයේ (16) අවසන් විය.

මෙම පෙත්සම අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන අමල් රණරාජා සහ ආචාර්ය සුමුදු ප්‍රේමචන්ද්‍ර යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඬුල්ල හමුවේ විභාගයට ගැනිණි. පෙත්සම සම්බන්ධයෙන් වූ නියෝගය ජූලි මස 03 වැනිදා ප්‍රකාශයට පත් කරන බව අධිකරණය දැනුම් දුන්නේය.

පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයේදී කරුණු දක්වමින් කියා සිටියේ, මෙම නඩුවේ සම විත්තිකාරියක වූ ඩේසි ෆොරස්ට් මහත්මිය රෝගී තත්ත්වයක් හේතුවෙන් නඩු විභාගයකට මුහුණ දීමට නොහැකි බවට වෛද්‍ය වාර්තා මගින් තහවුරු වීමෙන් පසු ඇයව චෝදනාවලින් නිදහස් කර ඇති බවයි. එවැනි පසුබිමක තමන්ට එරෙහිව පමණක් කුමන්ත්‍රණ චෝදනාව පවත්වාගෙන යෑම නීති විරෝධී බව ඔහු තර්ක කළේය.

මෙහිදී පැමිණිල්ල වෙනුවෙන් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා, සම විත්තිකාරිය නිදහස් කළද පෙත්සම්කරුට එරෙහිව පවතින නඩුව ඉදිරියට පවත්වාගෙන යෑමට නීතිමය බාධාවක් නොමැති බව අවධාරණය කළේය. දෙපාර්ශ්වයේම කරුණු සලකා බැලීමෙන් අනතුරුව විනිසුරු මඬුල්ල නියෝගය ප්‍රකාශයට පත් කිරීම කල් තැබීය.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version