ලෝක වෙළෙඳපොළේ පවතින මතක චිප් සැපයුමේ අස්ථාවරත්වය හේතුවෙන් ඉදිරියේදී ඇපල් නිෂ්පාදනවල මිල ගණන් ඉහළ දැමීම නොවැළැක්විය හැකි බව එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ටිම් කුක් පවසයි.
කෘත්‍රිම බුද්ධි තාක්ෂණයේ වර්ධනයත් සමඟ මතක චිප් සඳහා පවතින ඉල්ලුම ඉහළ යාම සහ සැපයුම් දාමයේ ඇති ගැටලු මෙම තත්ත්වයට ප්‍රධාන හේතුව වී තිබේ. මෙම තත්ත්වය තවදුරටත් තිරසාර නොවන මට්ටමක පවතින බව ඔහු වෝල් ස්ට්‍රීට් ජර්නල් වෙත අදහස් දක්වමින් සඳහන් කළේය.
මෙම මිල වැඩිවීම් කුමන නිෂ්පාදන සඳහා සහ කවදා සිට බලපැවැත්වේද යන්න පිළිබඳව සමාගම මෙතෙක් නිශ්චිත තොරතුරු හෙළි කර නොමැත. සැප්තැම්බර් මාසයේදී එළිදැක්වීමට නියමිත නවතම iPhone මාදිලි සඳහාද මෙම බලපෑම සිදුවේද යන්න පිළිබඳව පාරිභෝගිකයන් තුළ කුතුහලයක් පවතී.
පාරිභෝගිකයන් වෙත සිදුවන බලපෑම අවම කිරීමට සමාගම උපරිම උත්සාහයක නිරත වන බවද ටිම් කුක් අවධාරණය කළේය. කෙසේ වෙතත්, උපාංග නිෂ්පාදනය සඳහා අත්‍යවශ්‍ය අංගයක් වන මතක චිප්වල මිල ගණන් ස්ථාවර වන තෙක් මෙම අභියෝගාත්මක තත්ත්වයට මුහුණ දීමට සිදුවනු ඇත.
