එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා නගරයෙන් වාර්තා වන මෙම සිදුවීම ලොව පුරා අවධානය දිනා ගැනීමට සමත්ව තිබේ. රාත්‍රී කාලයේ සාජා පොලිසියේ හදිසි ඇමතුම් අංශයට ඇමතුමක් ලබාගත් කාන්තාවක් ඉතා සන්සුන්ව තමන්ට පීසා එකක් අවශ්‍ය බව පවසා ඇත.

මුලදී එය වැරදි ඇමතුමක් ලෙස සැලකූ පොලිස් නිලධාරියා, ඇයගේ කතා විලාසයේ තිබූ අසාමාන්‍ය බව වටහාගෙන ඇය අනතුරක සිටින බව තේරුම් ගත්තේය. එම නිලධාරියා ඉතා බුද්ධිමත්ව පීසා ඇණවුමක් භාර ගන්නා ආකාරයට ඇය සමඟ සංවාදයේ යෙදෙමින් ඇය සිටින ස්ථානය සහ අනතුරේ ස්වභාවය පිළිබඳ තොරතුරු රහසිගතව ලබා ගැනීමට කටයුතු කළේය.

පොලිස් නිලධාරියා ඇසූ ප්‍රශ්නවලට ඇය ලබාදුන් කෙටි පිළිතුරු ඔස්සේ, එම ස්ථානයේ තවත් පුද්ගලයින් දෙදෙනෙකු සිටින බවත් ඇය දැඩි අවදානමක පසුවන බවත් ඔහු හඳුනා ගත්තේය. ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ සාජා පොලිසිය, තාක්ෂණික ක්‍රමවේද ඔස්සේ ඇය සිටි ස්ථානය සොයා ගොස් සැකකරුවන් අත්අඩංගුවට ගෙන කාන්තාව ආරක්ෂිතව මුදා ගැනීමට සමත් විය.

හදිසි අවස්ථාවකදී පොලිස් නිලධාරියෙකුගේ ක්ෂණික බුද්ධිය සහ වෘත්තීය දක්ෂතාව හේතුවෙන් කාන්තාවකගේ ජීවිතය බේරා ගැනීමට හැකි වූ මෙම සිදුවීම, ලොව පුරා බොහෝ දෙනාගේ පැසසුමට ලක්ව තිබේ.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version