ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළ තුළ නීතිමය රාමුවකින් තොරව අලෙවි වන විවිධ නිෂ්පාදන හේතුවෙන් පාරිභෝගිකයින් දැඩි අවදානමකට ලක්ව ඇති බව විශ්‍රාමික සුරාබදු නිලධාරී ඒ.එම්.යූ. අබේකෝන් මහතා පවසයි. විශේෂයෙන්ම නීති විරෝධී ඊ-සිගරට් සහ දුම්කොළ රහිත නිකොටින් පැකට් වැනි නිෂ්පාදන මේ වන විට ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බව ඔහු පෙන්වා දෙයි.

මීට පෙර මොණරාගල ප්‍රදේශයේදී පාසල් සිසුන්ට ඊ-සිගරට් අලෙවි කළ ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට ගැනීම මෙම තත්ත්වයේ බරපතළකම මනාව පැහැදිලි කරයි. වැඩිහිටියන් සඳහා හානිය අවම විකල්පයක් ලෙස ඇතැමුන් මෙම නිෂ්පාදන ප්‍රචාරය කළද, නිසි ප්‍රමිතියක් හෝ නියාමනයක් නොමැති වීම නිසා ඒවා පාරිභෝගික සෞඛ්‍යයට තර්ජනයක් වී ඇත.

ප්‍රමිතියෙන් තොර බාල භාණ්ඩ වෙළෙඳපොළට මුදාහැරීම වගකීම් විරහිත ක්‍රියාවක් බවත්, මෙවැනි ද්‍රව්‍ය භාවිතයෙන් පාරිභෝගිකයින්ගේ සෞඛ්‍ය තත්ත්වය බරපතළ ලෙස පිරිහිය හැකි බවත් අබේකෝන් මහතා අවධාරණය කරයි. එමෙන්ම, නීත්‍යානුකූලව ව්‍යාපාර පවත්වාගෙන යන ආයතනවලට මෙවැනි අක්‍රමවත් තරගකාරිත්වය හමුවේ අසාධාරණයක් සිදුවන බවද ඔහු පෙන්වා දෙයි.

මෙම ගැටලුවට විසඳුම් ලෙස ඔහු කරුණු තුනක් යෝජනා කරයි. නිෂ්පාදනවල අඩංගු ද්‍රව්‍ය සහ නිකොටින් ප්‍රමාණය පිළිබඳ පැහැදිලි සීමා පැනවීම, දේශීය භාෂාවෙන් සෞඛ්‍ය අවවාද ඇතුළත් ලේබල් අනිවාර්ය කිරීම සහ වයස අවුරුදු 21න් පහළ අයට අලෙවි කිරීම දැඩිව තහනම් කිරීම ඒ අතර වේ.

ප්‍රශ්න උත්සන්න වන තෙක් බලා නොසිට, වහාම විධිමත් නීතිමය රාමුවක් සකස් කිරීම රජයේ සහ බලධාරීන්ගේ වගකීමක් බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි. එමගින් දරුවන් ආරක්ෂා කර ගැනීමටත්, වැඩිහිටි පාරිභෝගිකයින්ට ආරක්ෂිත විකල්ප ලබා දීමටත් හැකි වනු ඇත.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version