මධ්‍යම සංස්කෘතික අරමුදලේ අරමුණු මේ වන විට නිවැරදිව ඉටු වෙමින් පවතින බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කළාය. දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ උඩුනුවර, වෙලැම්බොඩ, ගල්ලැන්ගොල්ල පොත්ගුල් මූලමහා විහාරයේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඇය මේ බව සඳහන් කළාය.
මෙම විහාරස්ථානයේ සංරක්ෂණ කටයුතු සඳහා රුපියල් කෝටි 18ක මුදලක් වෙන් කර ඇත්තේ සම්පූර්ණයෙන්ම මධ්‍යම සංස්කෘතික අරමුදලේ ප්‍රතිපාදන මගිනි. රජය විසින් ජනතාවගෙන් එකතු කරගන්නා මුදල් භාණ්ඩාගාරයේ සිරකර නොතබා, ජනතාවට නැවත ප්‍රතිලාභ ලැබෙන අයුරින් මෙවැනි සංවර්ධන කටයුතු සඳහා යොදවන බව අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළාය.
දිට්වා ආපදාවෙන් හානි වූ ආගමික ස්ථාන ප්‍රතිසංස්කරණය කිරීම සඳහා රජය රුපියල් මිලියන 500ක් වෙන් කර ඇත. මීට අමතරව නිවාස පහළොස් දහසක් ඉදිකිරීමේ වැඩසටහනක් ද ණය බරකින් තොරව ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම් කර තිබේ.
අනාගත පරපුර උදෙසා රටේ සංස්කෘතික උරුමයන් ආරක්ෂා කිරීමේ වැදගත්කම පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරිය, ගල්ලැන්ගොල්ල විහාරස්ථානය සංරක්ෂණය කිරීම එම ප්‍රදේශයේ සමස්ත සංවර්ධනයට ද ඉවහල් වන බව පැවසුවාය.
බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා ද මෙම අවස්ථාවට එක්වෙමින් සඳහන් කළේ, ආපදාවට ලක්වූ ආගමික ස්ථාන හතක් ප්‍රතිසංස්කරණය කිරීමට රුපියල් මිලියන 504ක් වෙන් කර ඇති බවත්, ඉන් වැඩිම මුදලක් ගල්ලැන්ගොල්ල විහාරස්ථානය වෙනුවෙන් වෙන් කළ බවත්ය.
