මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් නීතිවිරෝධී ලෙස උපයාගත් රුපියල් බිලියන 1.5ක් වටිනා දේපළ කඩිනමින් අත්හිටුවීමට පියවර ගන්නා බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කළේය. මහනුවර පැවති ‘රටම එකට’ ජාතික මෙහෙයුමේ ප්‍රගති සමාලෝචන රැස්වීමට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
නීතිමය ක්‍රියාමාර්ග ඔස්සේ දේපළ රාජසන්තක කිරීම සඳහා කාලයක් ගතවන බැවින්, එම දේපළ තාවකාලිකව අත්හිටුවීමේ ක්‍රමවේදයක් අනුගමනය කරන බවත්, ඒ සඳහා අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන සකස් කර ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
පසුගිය වසරේ ඔක්තෝබර් 30 වන දින සිට මේ දක්වා මත්ද්‍රව්‍ය ටොන් 10කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ සමත්ව ඇත. මීට අමතරව, ජනවාරි 13 වැනිදා සිට මේ දක්වා ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 967 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් 2,146 දෙනකු පුනරුත්ථාපනය සඳහා යොමු කර තිබේ.
පුනරුත්ථාපන ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සඳහා ඉදිරියේදී දිස්ත්‍රික් මට්ටමින් නව මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමටත්, පුනරුත්ථාපන පනත සංශෝධනය කිරීමටත් කටයුතු යොදා ඇත. පොලිස් ස්ථානවල පවතින පුරප්පාඩු පිරවීම සඳහා නිලධාරීන් 10,000ක් බඳවා ගැනීමට අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.
මත්ද්‍රව්‍ය වැටලීම් සඳහා සහය ලබාදෙන නිලධාරීන් සහ තොරතුරු සපයන්නන් දිරිගැන්වීම සඳහා රහසිගතව මුදල් ත්‍යාග ලබාදීමට පියවර ගන්නා බවත්, තොරතුරු සපයන්නන්ගේ ආරක්ෂාව සහ රහස්‍යභාවය උපරිමයෙන් සුරකින බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
