යාපනය ප්‍රදේශයේ පිහිටි චෙම්මණි සමූහ මිනීවල ආශ්‍රිතව මේ වන විට ක්‍රියාත්මක කැණීම් කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පසුගියදා විශේෂ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

මෙම සංවේදී කැණීම් කටයුතු කිසිදු බාධාවකින් තොරව අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය මූල්‍ය හා තාක්ෂණික පහසුකම් කඩිනමින් ලබා දෙන ලෙස අමාත්‍යවරයා අදාළ අංශ වෙත උපදෙස් ලබා දුන්නේය. අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය මෙම කටයුතු සඳහා සහාය නොදක්වන බවට පළවන වාර්තා අසත්‍ය බවත්, ඒ සඳහා අවශ්‍ය සියලු මූල්‍ය ප්‍රතිපාදන අමාත්‍යාංශය විසින් දැනටමත් වෙන් කර ඇති බවත් ඔහු අවධාරණය කළේය.

මෙම අවස්ථාව සඳහා යාපනය මහෙස්ත්‍රාත්වරයා, යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කේ. ඉලන්කුමාරන් සහ රජීවන් ජයචන්ද්‍රමූර්ති යන මහත්වරුන් මෙන්ම හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී අජිත් තෙන්නකෝන් මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

කැණීම් කටයුතු විද්‍යාත්මක හා විනිවිදභාවයකින් යුතුව සිදු කෙරෙන බව පෙන්වා දුන් අමාත්‍යවරයා, වින්දිතයන් වෙනුවෙන් යුක්තිය ඉටු කරමින් මෙම ගැටලුවට ස්ථිර විසඳුමක් ලබා දීමට වත්මන් රජය කැපවී සිටින බව වැඩිදුරටත් සඳහන් කළේය.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version