මෙරට සෞඛ්‍ය සේවාව වඩාත් ගුණාත්මක මට්ටමකට ගෙන ඒමේ අරමුණින් දිවයින පුරා රෝහල් සඳහා අතිනවීන තාක්ෂණයෙන් යුත් CT ස්කෑන් යන්ත්‍ර 11ක් ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇත. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ උපදෙස් මත මෙම වැඩසටහන දියත් කෙරේ.

මීට සමගාමීව කළුතර සහ කුරුණෑගල ශික්ෂණ රෝහල් සඳහා නවීනතම ස්කෑන් යන්ත්‍ර දැනටමත් ස්ථාපිත කර තිබේ. මීට අමතරව ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍ය ආධාර යටතේ ජාතික රෝහල් සහ කොළඹ දකුණු ශික්ෂණ රෝහල ඇතුළු ප්‍රධාන රෝහල් කිහිපයකට නවීන උපකරණ ලබාදීමට පියවර ගෙන ඇත.

පැරණි 16-ස්ලයිස් ස්කෑන් යන්ත්‍ර වෙනුවට 64 සහ 128-ස්ලයිස් තාක්ෂණයෙන් යුත් නවීන යන්ත්‍ර හඳුන්වා දීම තුළින් රෝගීන්ට ඉතා කෙටි කාලයක් තුළ නිවැරදි රෝග විනිශ්චයන් ලබාගැනීමේ අවස්ථාව උදාවනු ඇත. විශේෂයෙන්ම හදිසි අනතුරු, පිළිකා, හෘද රෝග සහ ආඝාතය වැනි තත්ත්වයන් හඳුනා ගැනීමට මෙය මහත් පිටුවහලක් වනු ඇත.

මෙම වැඩසටහන සෞඛ්‍ය අමාත්‍යාංශයේ රෝහල්වලට පමණක් සීමා නොවී පළාත් සභා රෝහල් දක්වා ව්‍යාප්ත කිරීමට සැලසුම් කර ඇත. එමගින් දුෂ්කර ප්‍රදේශවල ජනතාවට ද උසස් රෝග විනිශ්චය පහසුකම් තම ප්‍රදේශයෙන්ම ලබාගැනීමේ හැකියාව ලැබෙනු ඇත.

මෙම ආයෝජනය හුදෙක් උපකරණ මිලදී ගැනීමකට පමණක් සීමා නොවී, රෝගී ප්‍රතිකාර ප්‍රමාදයන් අවම කිරීම සහ ජීවිත රැකගැනීමේ අරමුණින් සිදුකරන පුළුල් සෞඛ්‍ය ප්‍රතිසංස්කරණයේ එක් අදියරක් බව අමාත්‍යාංශය පවසයි.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version