කෑගල්ල සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයට අනුයුක්ත රියදුරු මහතුන් සහ සෞඛ්‍ය නිලධාරීන්ගේ මූලිකත්වයෙන් ඉදිකළ නව භෞත චිකිත්සක හා පුනරුත්ථාපන ඒකකය සබරගමුව පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ජනතා අයිතියට පවරා දෙන ලදී.
අරණායක වාකිරිගල ප්‍රාථමික සෞඛ්‍ය සේවා මධ්‍යස්ථාන පරිශ්‍රයේ අතහැර දමා තිබූ ගොඩනැගිල්ලක් ප්‍රතිසංස්කරණය කරමින් මෙම ඒකකය ස්ථාපිත කර තිබේ. අංශභාගය, හන්දි ආබාධ සහ අනතුරු හේතුවෙන් පීඩාවට පත් රෝගීන්ට අවශ්‍ය ප්‍රතිකාර සේවාවන් මෙහිදී ලබාගත හැකිය.
සබරගමුව පළාත් සභාව යටතේ පාලනය වන බාහිර රෝහල් පද්ධතිය තුළ මෙවැනි ඒකකයක් ස්ථාපිත කළ ප්‍රථම අවස්ථාව මෙය වේ. මීට පෙර මෙම ප්‍රතිකාර සඳහා රත්නපුර හෝ කෑගල්ල දිස්ත්‍රික් මහ රෝහල් වෙත යාමට ප්‍රදේශවාසීන්ට සිදුවිය.
මෙම ව්‍යාපෘතිය සඳහා රියදුරු මහතුන් සහ කාර්ය මණ්ඩලය රුපියල් 70,000ක මුදලක් සහ භාවිතයෙන් ඉවත් කළ උපකරණ පරිත්‍යාග කර ඇත. කෑගල්ල දිස්ත්‍රික් රෝහලේ කාර්ය මණ්ඩලය සතියේ දින දෙකක් මෙම ඒකකයේ සේවාවන් සැපයීමට කටයුතු යොදා තිබීම විශේෂත්වයකි.
