2022 වර්ෂය සඳහා වූ මුදල් අමාත්‍යාංශයේ වාර්ෂික වාර්තාවේ අඩංගු විගණකාධිපති වාර්තාවක් පදනම් කරගනිමින්, රජයේ මූල්‍ය අක්‍රමිකතා කිහිපයක් සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් පැවැත්වීමට තීරණය වී ඇත. විගණකාධිපතිවරයා විසින් 2023 වසරේදී ඉදිරිපත් කළ මෙම වාර්තාව මගින් රජයේ වත්කම් සහ වගකීම් අතර රුපියල් බිලියන 22,477කට අධික දැවැන්ත පරතරයක් පවතින බව අනාවරණය කර තිබිණි.
එම වාර්තාවට අනුව, 2022 වසර අවසානයේ රජයේ මුළු වගකීම් රුපියල් බිලියන 27,281ක් ලෙස සටහන්ව තිබූ අතර, මුළු වත්කම් ප්‍රමාණය රුපියල් බිලියන 4,803ක් ලෙස දැක්වේ. මීට අමතරව, ඒකාබද්ධ අරමුදලින් රුපියල් බිලියන 294කට අධික මුදලක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 150(1) වගන්තිය උල්ලංඝනය කරමින් ඉවත් කරගෙන ඇති බවට ද චෝදනා එල්ල වී ඇත.
තවද, විදේශ ණය ගෙවීම්වලදී රුපියල් මිලියන 9,874ක වෙනසක් සහ මූල්‍ය නොවන වත්කම්වල ආරම්භක ශේෂයේ රුපියල් මිලියන 47,886ක අඩුපාඩුවක් ද විගණනයේදී නිරීක්ෂණය වී තිබේ. මහා භාණ්ඩාගාරයේ දැනුම්දීමකින් තොරව විවිධ අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තු ව්‍යාපෘති 20ක් සඳහා රුපියල් බිලියන 1.8කට අධික විදේශ ප්‍රදාන සෘජුවම ලබාගෙන ඇති බවද වාර්තාවේ සඳහන් වේ.
මෙම මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් ව්‍යවස්ථාපිත නීති උල්ලංඝනය වී ඇති බව පෙන්වා දී තිබුණද, මේ දක්වා ඒ සම්බන්ධයෙන් නිසි පියවරක් ගෙන නොතිබීම විශේෂ අවධානයට ලක්ව ඇත. ඒ අනුව, මෙම මූල්‍ය වාර්තා සහ විගණන නිරීක්ෂණ පදනම් කරගෙන ඉදිරි පියවර ගැනීමට රජය කටයුතු කරමින් සිටී.
