මධ්‍යම අප්‍රිකානු ජනරජයේ එක්සත් ජාතීන්ගේ මෙහෙයුම් යටතේ රාජකාරී නියුතු ශ්‍රී ලංකා ගුවන් හමුදා ගුවන් සංචිතය විසින් අතිශය අවදානම් සහගත හා රහසිගත ප්‍රාණ ඇපකරු මුදාගැනීමේ මෙහෙයුමක් සාර්ථකව අවසන් කර ඇත. සන්නද්ධ කණ්ඩායම්වල පාලනය යටතේ පැවති දුෂ්කර ප්‍රදේශයක මාස අටකට වැඩි කාලයක් රඳවාගෙන සිටි සිවිල් වැසියන් තිදෙනෙකු මෙලෙස මුදාගෙන තිබේ.

මෙම මෙහෙයුම සඳහා Mi-17 හෙළිකොප්ටර් යානා තුනක්, ගුවන් වෛද්‍ය සහන කණ්ඩායමක් සහ පූර්ණ සන්නද්ධ සෙබළුන් පිරිසක් සහභාගී වී ඇත. මෙහෙයුම් කලාපයේ පැවති දැඩි දූවිලි තත්ත්වයන්, සන්නද්ධ තර්ජන සහ සන්නිවේදන ගැටලු මැද මෙම මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට ගුවන් හමුදා නියමුවන්ට සහ භට පිරිස්වලට සිදුව තිබේ.

සමස්ත මෙහෙයුම කණ්ඩායම් ආඥාපති ගෘප් කැප්ටන් අසිරි පතිරගේ මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වූ අතර, ‘රාවණ’ කැඳවුම් නාමයෙන් යුත් හෙළිකොප්ටර් යානා මගින් භට පිරිස් ගොඩබසවා, සාකච්ඡා කණ්ඩායම ආරක්ෂා කරමින් මෙම මුදාගැනීම සිදු කර ඇත.

මෙම දුෂ්කර මෙහෙයුම වෙනුවෙන් විංග් කමාන්ඩර් විකුම් මපාතුන, විංග් කමාන්ඩර් නිමේන්ද්‍ර ගුණවර්ධන සහ ස්කොඩ්‍රන් ලීඩර් අකිල වරුණගේ යන මහත්වරුන් ප්‍රධාන නියමුවන් ලෙස කටයුතු කර ඇති අතර, තවත් නිලධාරීන් සහ සෙබළුන් රැසක් සිය දායකත්වය ලබා දී තිබේ.

එක්සත් ජාතීන්ගේ MINUSCA මෙහෙයුම් විධානය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා ගුවන් හමුදා සංචිතය, ජාත්‍යන්තර සාම සාധක රාජ්‍යයන් අතර ශ්‍රී ලංකාවේ නාමය ඉහළ නංවමින් මෙම විශිෂ්ට මෙහෙයුම සාර්ථක කර ගැනීම මෙරට ආරක්ෂක අංශ ලද සුවිශේෂී ජයග්‍රහණයක් ලෙස සැලකේ.

AI illustration; not a photograph of the reported event.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version