අද (23) පෙරවරුවේ පාර්ලිමේන්තු සභාවාරය අතරතුර ඇති වූ උණුසුම්කාරී තත්ත්වයක් හේතුවෙන් සභාවේ කටයුතු තාවකාලිකව අත්හිටුවීමට කථානායකවරයාට සිදු විය.
විපක්ෂයේ මන්ත්‍රීවරුන් 20 දෙනෙකු පමණ එක්ව හදිසි පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලා සිටීමත් සමඟ මෙම තත්ත්වය හටගෙන තිබේ. කථානායකවරයා විසින් මෙම ඉල්ලීම සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ ස්ථාවරය විමසනු ලැබීය.
එහිදී අදහස් දක්වමින් සභා නායක අමාත්‍ය බිමල් රත්නායක මහතා ප්‍රකාශ කළේ, අදාළ විවාදය සඳහා රජය එකඟ නොවන බවයි. කෙසේ වෙතත්, අවශ්‍ය නම් එම කරුණ සම්බන්ධයෙන් ඡන්ද විමසීමක් පැවැත්වීමට රජය සූදානම් බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
සභා ගර්භය තුළ ඇති වූ වාද විවාද සහ උණුසුම් තත්ත්වය පාලනය කිරීම සඳහා කථානායකවරයා විසින් පාර්ලිමේන්තු කටයුතු මිනිත්තු 10ක කාලයකට කල්තැබීමට තීරණය කළේය.
