පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවේ තීරණාත්මක පියවරක් ලෙස, පළමු විත්තිකරු වන නවුෆර් මවුලවි ලබාදුන් පාපෝච්චාරණය ස්වේච්ඡාවෙන් කළ ප්‍රකාශයක් බව කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය ඊයේ (23) තීන්දු කළේය.
මහාධිකරණ විනිසුරුවන් වන රාමනාදන් කන්නන් සහ සුජීව නිශ්ශංක යන මහත්වරුන්ගේ එකඟත්වය ඇතිව සභාපති විනිසුරු නවරත්න මාරසිංහ මහතා විසින් මෙම නියෝගය ප්‍රකාශයට පත් කරන ලදී. මෙම ප්‍රකාශය ස්වේච්ඡාවෙන් ලබා දී ඇත්ද යන්න තහවුරු කර ගැනීම සඳහා අධිකරණය හමුවේ ‘වෝයර් ඩයර්’ (voir dire) පරීක්ෂණයක් පවත්වා තිබිණි.
2019 වසරේ නොවැම්බර් 11 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූලස්ථානයේදී සහකාර පොලිස් අධිකාරීවරයෙකු වෙත මෙම ප්‍රකාශය ලබා දී තිබූ අතර, එය නඩු විභාගයේදී සාක්ෂියක් ලෙස ඉදිරිපත් කිරීමට මේ අනුව අවසර ලැබී ඇත. මෙම තීන්දුවත් සමඟ පැමිණිල්ලේ නඩුව තීරණාත්මක අදියරකට එළඹ ඇති බව නීති ක්ෂේත්‍රයේ මතයයි.
මේ වන විට විත්තිකරුවන් සිව්දෙනෙකුගේ පාපෝච්චාරණ ස්වේච්ඡාවෙන් ලබා දී ඇති බව අධිකරණය විසින් තහවුරු කර තිබේ. මීට අමතරව, තවත් විත්තිකරුවන් කිහිප දෙනෙකුට අදාළව සිදු කෙරෙන පරීක්ෂණ සහ නඩු කටයුතු තවදුරටත් ක්‍රියාත්මක වේ.
නීතිපතිවරයා වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මිය ඇතුළු නීතිඥ කණ්ඩායමක් පැමිණිල්ල මෙහෙයවනු ලබන අතර, විත්ති පාර්ශ්වය වෙනුවෙන් නීතිඥවරුන් පිරිසක් පෙනී සිටිති.
