අධිකරණ පද්ධතියේ පවතින ගැටලු සහ විනිසුරුවරුන්ගේ පුරප්පාඩු සම්බන්ධයෙන් හදිසි විවාදයක් ඉල්ලා විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් පාර්ලිමේන්තුවේදී ඊයේ (23) දැඩි විරෝධතාවයක නිරත වූහ. මෙම තත්ත්වය හේතුවෙන් පාර්ලිමේන්තු සභා ගැබ තුළ උණුසුම්කාරී වාතාවරණයක් නිර්මාණය විය.

විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් සභා ගැබ මැදට පැමිණ විරෝධය පළ කළ අතර, එහිදී දයාසිරි ජයසේකර සහ අජිත් පී. පෙරේරා යන මහත්වරුන් සෙංකෝලය රැගෙන යෑමට උත්සාහ දැරූහ. එම අවස්ථාවේදී වේත්‍රධාරී නිලධාරීන් සෙංකෝලය ආරක්ෂා කර ගැනීමට දැඩි උත්සාහයක් ගත් අයුරු දක්නට ලැබිණි.

සභාවේ ඇති වූ කලහකාරී තත්ත්වය පාලනය කරගත නොහැකි වූ බැවින් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සභාවේ කටයුතු විනාඩි දහයකට කල් තැබීමට පියවර ගත්තේය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දුන්නේ අධිකරණ ක්ෂේත්‍රයේ පැනනැඟී ඇති ව්‍යූහාත්මක අර්බුද සඳහා පාර්ලිමේන්තුව වහා මැදිහත් විය යුතු බවයි.

කෙසේ වෙතත්, සභාව යළි රැස්වූ අවස්ථාවේදී කථානායකවරයා ප්‍රකාශ කළේ විපක්ෂයේ ඉල්ලීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී සාකච්ඡා කර විවාදයක් සඳහා අවස්ථාව ලබාදීමට කටයුතු කරන බවයි.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version