දකුණු ආසියානු කලාපයේ ළමුන්ට එරෙහි හිංසනය අවසන් කිරීම අරමුණු කරගත් අමාත්‍ය සමුළුව පසුගියදා කොළඹදී ආරම්භ විය. මෙම සමාරම්භක අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සඳහන් කළේ ළමා ආරක්ෂාව යනු හුදෙක් එක් ක්ෂේත්‍රයකට පමණක් සීමා වූ කරුණක් නොව, රටේ සමස්ත සංවර්ධන හා සමාජ සාධාරණතා න්‍යාය පත්‍රය තුළ අන්තර්ගත ජාතික ප්‍රමුඛතාවයක් බවයි.
ජුනි 23 සහ 24 දෙදින පුරා පැවැත්වෙන මෙම සමුළුව හරහා දකුණු ආසියාව තුළ ළමුන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය තුරන් කිරීම සඳහා දේශපාලනික පසුබිම ශක්තිමත් කිරීම සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කෙරේ. දරුවන් මුහුණ දෙන ළමා විවාහ, ශ්‍රම සූරාකෑම සහ සමාජ මාධ්‍ය හරහා සිදුවන අපයෝජන වැනි නව අභියෝග රැසක් කෙරෙහි මෙහිදී විශේෂ අවධානය යොමු කර ඇත.
පාසල් පද්ධතියේ කාර්යභාරය පිළිබඳව අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය, පාසල් යනු හුදෙක් ඉගෙනුම් කටයුතු සිදුවන ස්ථානයක් පමණක් නොව, දරුවන්ගේ ආරක්ෂාව සහතික කරන සහ හානිකර තත්ත්වයන් කල්තියා හඳුනාගන්නා මධ්‍යස්ථානයක් විය යුතු බව පෙන්වා දුන්නාය. ඒ සඳහා පාසල් මට්ටමින් උපදේශන සේවා සහ ආරක්ෂණ පද්ධති තවදුරටත් ශක්තිමත් කිරීමට රජය කැපවී සිටින බව ඇය වැඩිදුරටත් පැවසුවාය.
ළමා ආරක්ෂාව සම්බන්ධ අභියෝග ජාතික සීමාවන් ඉක්මවා යන බැවින්, ඒ සඳහා කලාපීය රටවල් අතර අඛණ්ඩ සහයෝගීතාව සහ අත්දැකීම් හුවමාරු කර ගැනීම අත්‍යවශ්‍ය බව අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළාය. මෙම සමුළුව සඳහා සාක් සංවිධානයේ මහලේකම්වරයා, යුනිසෙෆ් නියෝජිතයින්, එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයින් සහ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යවරිය ඇතුළු පිරිසක් සහභාගී වූහ.
