ඩෙංගු රෝගය වැළඳීමෙන් රුහුණ විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලැබූ 23 හැවිරිදි සිසුවියක අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ මාතර, දෙනියාය ප්‍රදේශයේ පදිංචිව සිටි සඳලි තාරිකා නැමති සිසුවියකි.

ඇය රුහුණ විශ්වවිද්‍යාලයේ මානවශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ 46 වන ශිෂ්‍ය කණ්ඩායමේ ඉගෙනුම ලබමින් සිටියාය. ඇගේ හදිසි වියෝව හේතුවෙන් සමස්ත විශ්වවිද්‍යාල ප්‍රජාවම දැඩි කම්පනයට පත්ව සිටින බව වාර්තා වේ.

විශේෂයෙන්ම ඇය මියයාමට පෙර සිය මිතුරන් වෙත තැබූ සංවේදී සටහනක් මේ වන විට බොහෝ දෙනෙකුගේ අවධානයට යොමුව ඇත. ඩෙංගු රෝගය වැළඳීම හේතුවෙන් සිය නැටුම් කණ්ඩායමේ පුහුණුවීම්වලට සහභාගී වීමට නොහැකි බව පවසමින් ඇය “මං නොමැරුනොත් එන්නම් යාලුවනේ” යනුවෙන් පණිවිඩයක් යොමු කර තිබුණි.

කෙසේ වෙතත්, ඇය තැබූ එම සටහන සැබෑ කරමින් ඇය යළි නොඑන ගමන් ගොස් තිබේ. මෙම පුවතත් සමඟ මෙරට නැවත වරක් හිස ඔසවමින් පවතින ඩෙංගු වසංගතයේ බියකරු ස්වභාවය පිළිබඳව සමාජය තුළ දැඩි කතාබහක් නිර්මාණය වී ඇත.

සෞඛ්‍ය අංශ දත්තවලට අනුව මේ වසරේ මේ දක්වා කාලය තුළ දිවයින පුරා ඩෙංගු රෝගීන් 37,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී තිබේ. ඇතැම් වාර්තා පෙන්වා දෙන්නේ ආසාදිතයන් සංඛ්‍යාව 50,000 සීමාව ද ඉක්මවා ගොස් ඇති බවයි.

පවතින වැසි සහිත කාලගුණයත් සමඟ ඩෙංගු මර්දන කටයුතු පිළිබඳව දැඩි අවධානයක් යොමු කරන ලෙසත්, තමා අවට පරිසරය පිරිසිදුව තබා ගනිමින් සෞඛ්‍ය උපදෙස් පිළිපදින ලෙසත් බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටී.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version