ජාතික යොවුන් සේනාංකය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ‘Youth Spirit Sports Festival – 2026’ ජාතික ක්‍රීඩා උළෙලේ අවසන් මහා තරග සහ සම්මාන ප්‍රදානෝත්සවය දිවුලපිටිය ජාතික යොවුන් සේනාංක පුහුණු මධ්‍යස්ථානයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වුණි. මෙම අවස්ථාවට තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස එක්විය.
උත්සවය අමතමින් අමාත්‍යවරයා සඳහන් කළේ, ජාති, ආගම් හෝ ප්‍රාදේශීය භේදයකින් තොරව රටේ සිව්දෙසින්ම පැමිණි තරුණ දරුවන් එකම ක්‍රීඩා පිටියක සහයෝගයෙන් කටයුතු කිරීම අනාගතයට ඉතා වැදගත් බවයි. ග්‍රාමීය මට්ටමේ දක්ෂතා ඇති ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාත්‍යන්තර තලයට ඔසවා තැබීම රජයේ අපේක්ෂාව බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක මහතා මෙහිදී අදහස් දක්වමින් කියා සිටියේ, තරුණ පරපුරට යහපත් අනාගතයක් උදා කර දීම රජයේ ප්‍රමුඛතාවය බවයි. තරුණ විරැකියාව අවම කිරීම සඳහා සංචාරක සහ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍ර ඔස්සේ නව රැකියා අවස්ථා නිර්මාණය කිරීමට රජය පියවර ගනිමින් සිටින බවද ඔහු පැවසීය.
මෙවර ක්‍රීඩා උළෙලේදී දුනු විදීම, වායු රයිෆල්, නෙට්බෝල්, කබඩි සහ වොලිබෝල් ඇතුළු ඉසව් රැසක් පැවැත්විණි. තරගාවලියේ සමස්ත ශූරතාවය වයඹ පළාත විසින් දිනාගත් අතර, උතුරු පළාත සමස්ත අනුශූරතාවය හිමිකර ගැනීමට සමත් විය.
ක්‍රීඩා උළෙලේදී ජයග්‍රාහකයින් වෙත කුසලාන සහ සහතිකපත් ප්‍රදානය කෙරුණු අතර, ක්‍රීඩාව වෙනුවෙන් කැපවී කටයුතු කළ පුහුණු උපදේශකවරුන් ඇගයීමට ලක් කිරීමද සිදු විය.
