මඩකලපුව, තිරයිමඩු ප්‍රදේශයේ පිහිටි නැගෙනහිර පළාත් සෞඛ්‍ය පුහුණු මධ්‍යස්ථානය (PHTC) ජාතික මට්ටමේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල පුහුණු මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සැලසුම් කර ඇත. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ උපදෙස් පරිදි මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක වේ.
මෙම මධ්‍යස්ථානය මධ්‍යම රජය යටතට පවරා ගැනීමේ මූලික කටයුතු මේ වන විට ආරම්භ වී ඇති අතර, සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පසුගියදා එම ආයතනයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය. එහිදී මධ්‍යස්ථානයේ පවතින සම්පත් සහ පුහුණු වැඩසටහන්වල ගුණාත්මකභාවය පිළිබඳව ඔහු කරුණු අධ්‍යයනය කළේය.
මධ්‍යම රජයේ සෘජු අධීක්ෂණය යටතේ මෙම ආයතනය පවත්වාගෙන යාම තුළින් සමස්ත දිවයිනේම සෞඛ්‍ය වෘත්තිකයන් සඳහා උසස් පුහුණු අවස්ථා ලබා දීම රජයේ අපේක්ෂාවයි. විශේෂයෙන්ම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් ඇතුළු ක්ෂේත්‍ර නිලධාරීන්ගේ පුහුණු පාඨමාලා නවීකරණය කිරීමට මෙහිදී අවධානය යොමුවිය.
නවීන පහසුකම්වලින් සමන්විත මෙම මධ්‍යස්ථානය, ඉදිරියේදී ජාතික මට්ටමේ පුහුණු සහ පර්යේෂණ ඒකකයක් ලෙස සංවර්ධනය කිරීමට නියමිතය. එමගින් සෞඛ්‍ය සේවා ක්ෂේත්රයේ ගුණාත්මක මානව සම්පතක් බිහිකිරීමට හැකිවනු ඇති බව සෞඛ්‍ය බලධාරීහු පෙන්වා දෙති.
