ළමුන් සේවයේ යෙදවීම වැළැක්වීම සහ ඊට එරෙහිව දැඩි නීති ක්‍රියාත්මක කිරීමේ අරමුණින්, අදාළ වරද සඳහා පනවන දඩ මුදල රුපියල් ලක්ෂයක් දක්වා ඉහළ නැංවීමට කටයුතු යොදා ඇත.
මේ සඳහා ස්ත්‍රීන්, තරුණ අය සහ ළමයින් සේවයේ යෙදවීමේ පනත සංශෝධනය කිරීමට කම්කරු අමාත්‍යවරයා විසින් යෝජනාවක් ඉදිරිපත් කර තිබේ. මෙම පනත් කෙටුම්පත දැනටමත් ගැසට් මගින් ප්‍රකාශයට පත් කර ඇති අතර පාර්ලිමේන්තුවට ද ඉදිරිපත් කර ඇත.
මීට පෙර මෙම වරද සඳහා පැවති දඩ මුදල රුපියල් 10,000ක් ලෙස පැවති අතර, නව සංශෝධනයත් සමඟ එය සැලකිය යුතු ලෙස ඉහළ යනු ඇත.
නව නීතිමය ප්‍රතිපාදන අනුව වයස අවුරුදු 18ට අඩු අයෙකු සේවයේ යෙදවීම සම්බන්ධයෙන් වරදකරු වන පුද්ගලයෙකුට රුපියල් ලක්ෂයකට නොවැඩි දඩයක් හෝ මාස 12කට නොවැඩි බන්ධනාගාර ගත කිරීමකට ලක්විය හැකිය. ඇතැම් අවස්ථාවලදී මෙම දඬුවම් දෙකම එකවර ක්‍රියාත්මක කිරීමට ද අධිකරණයට බලය ලැබේ.
