මත්පැන් බෝතල් මත අලවනු ලබන ආරක්ෂිත ස්ටිකර් සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී දීර්ඝ වශයෙන් කරුණු විමසා තිබේ. එහිදී අනාවරණය වී ඇත්තේ, ඇතැම් මත්පැන් නිෂ්පාදන සමාගම්වල තාක්ෂණික ගැටලු හේතුවෙන් ස්ටිකර් වෙනුවට ඩිජිටල් මුද්‍රණ ක්‍රමය භාවිත කළද, ඒ සඳහා අය කරන පිරිවැයේ කිසිදු වෙනසක් සිදුවී නොමැති බවයි.

මෙරට නිෂ්පාදනය කෙරෙන මත්පැන් සහ බීර සමාගම් දෙකක නිෂ්පාදන ක්‍රියාවලියේ වේගය සහ බෝතල්වල පවතින තෙතමනය වැනි හේතු මත සාම්ප්‍රදායික කඩදාසි ස්ටිකර් ඇලවීමට නොහැකි වී ඇත. ඒ හේතුවෙන් එම සමාගම්වල නිෂ්පාදන සඳහා ඩිජිටල් මුද්‍රණ ක්‍රමය භාවිත කෙරේ.

කෙසේ වෙතත්, ස්ටිකරයක් මුද්‍රණය කිරීම සඳහා වැයවන මුදලට සමාන මුදලක් ඩිජිටල් මුද්‍රණය සඳහාද ගෙවීමට සිදුවීම ගැටලු සහගත බව කාරක සභාව පෙන්වා දී තිබේ. ස්ටිකර් 1000ක් සඳහා වරාය ගාස්තු සහ තීරුබදු ඇතුළුව ඩොලර් 7.99ක මුදලක් ගෙවීමට සිදුව ඇති අතර, ඩිජිටල් ක්‍රමයේදී කඩදාසි භාවිතයක් නොමැති වුවද එම පිරිවැයම අය කිරීම පිළිබඳව මෙහිදී ප්‍රශ්න කෙරිණි.

මෙම ගිවිසුම 2027 ජනවාරි මස දක්වා පවතින බවත්, ඉන් අනතුරුව නව ටෙන්ඩර් පටිපාටියක් යටතේ කටයුතු කිරීමට අපේක්ෂා කරන බවත් සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි. දැනට පවතින ගිවිසුම් කොන්දේසි අනුව එම මුදල ගෙවීමට සිදුව ඇති බව නියෝජ්‍ය සුරාබදු කොමසාරිස්වරයා එහිදී වැඩිදුරටත් පැහැදිලි කළේය.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version