පොසොන් පුර පසළොස්වක පොහෝ දිනය නිමිත්තෙන් විශේෂ පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේය. ශ්‍රී ලාංකේය ජාතියේ ගමන්මඟ වෙනස් කළ බුදු දහම මෙරටට ලැබීමත් සමඟ අපේ රට ථෙරවාද බෞද්ධ දර්ශනයේ කේන්ද්‍රස්ථානය බවට පත්වූ බව ජනාධිපතිවරයා සිහිපත් කරයි.
අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේගේ ලංකාගමනය හුදු ආගමික සිදුවීමකට පමණක් සීමා නොවී, මෙරට සංස්කෘතික, සමාජීය සහ දේශපාලන ක්ෂේත්රයන්හි විශාල පරිවර්තනයක් ඇති කළ බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි. බුදු දහම හරහා මෙරට අධ්‍යාපනය, වාස්තු විද්‍යාව සහ කලා ශිල්පයන් නව මාවතකට යොමු වූ බව ද ඔහු පවසයි.
වත්මන් සමාජය තුළින් වියැකී යන සාරධර්ම සහ හර පද්ධතීන් යළි ස්ථාපිත කිරීම අද දවසේ අප සැමගේ වගකීම බව ජනාධිපතිවරයා අවධාරණය කරයි. ආචාරධාර්මික පැවැත්මක් නොමැති රටකට දියුණුවක් කරා යා නොහැකි බව පෙන්වා දෙන ජනාධිපතිවරයා, රාජ්‍ය ආයතන ඇතුළු සියලු ක්ෂේත්‍ර තුළ ශිෂ්ටත්වය ස්ථාපිත කිරීමට රජය කැපවී සිටින බව සඳහන් කරයි.
මිහිඳු මහ රහතන් වහන්සේ දේශනා කළ අනුපූර්ව ශික්ෂණයේ වැදගත්කම සිහිපත් කරමින්, රටට අවශ්‍ය නව ආකල්ප සහිත ශිෂ්ට සම්පන්න රාජ්‍යයක් ගොඩනැගීම වෙනුවෙන් තිර අදිටනින් යුතුව එක්වන ලෙස ජනාධිපතිවරයා සියලු දෙනාට ආරාධනා කරයි. සැමගේ හදවත් දයාවෙන්, කරුණාවෙන් සහ ප්‍රඥාවෙන් ආලෝකමත් වන පින්බර පොසොන් මංගල්‍යයක් වේවායි ද ජනාධිපතිවරයා සිය පණිවුඩයෙන් ප්‍රාර්ථනා කරයි.
