වෙනිසියුලාවට බලපෑ විනාශකාරී භූමිකම්පා ද්විත්වය හේතුවෙන් මේ වන විට මියගිය සංඛ්‍යාව 1,430ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙම ස්වභාවික ආපදාවෙන් අතුරුදන්වූවන්ගේ සංඛ්‍යාව 50,000කට අධික විය හැකි බවට බලධාරීන් අනුමාන කරයි.

ආපදාව සිදුවූ අවස්ථාවේ රැකියාව නිමවී නිවසට පැමිණි ඇන්ඩ්‍රයිනා වැලෙරියෝ නම් මවක් සිය දෙහැවිරිදි පුත්‍රයා සන්තියාගෝ සහ සහකරු ඇතුළු පවුලේ සාමාජිකයන් සොයා සුන්බුන් අතර විලාප නඟන අයුරු දැකගත හැකි විය. ඇය පවසන්නේ තවමත් සුන්බුන් යටින් සිය දරුවාගේ හඬ ඇසෙන බවත්, ඔවුන් ජීවතුන් අතර සිටින බව තමා විශ්වාස කරන බවත්ය.

එල් සැල්වදෝරය සහ ස්පාඤ්ඤය ඇතුළු රටවල් කිහිපයකින් පැමිණි ගලවා ගැනීමේ කණ්ඩායම් සහන කටයුතු ආරම්භ කර ඇතත්, ගොඩනැඟිලිවල පවතින අස්ථාවරත්වය හේතුවෙන් මෙහෙයුම් දුෂ්කර වී තිබේ. සෙනසුරාදා දිනයේදී ද රික්ටර් පරිමාණයේ 4.9ක ප්‍රබලත්වයෙන් යුත් පසු කම්පනයක් වාර්තා වීම තත්ත්වය තවත් බරපතළ කර ඇත.

මෙම ආපදාවෙන් මිලියන 6.7කට අධික ජනතාවක් පීඩාවට පත්වීමේ අවදානමක් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. චීනය ඇතුළු රටවල් කිහිපයක් වෙනිසියුලාවට හදිසි මානුෂීය ආධාර ලබා දීමට ඉදිරිපත්ව සිටී.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version