ශ්‍රී ලංකාව තුළ ජාතික සමගිය සහ සහජීවනය තහවුරු කිරීමේ අරමුණින් භාෂා ප්‍රතිපත්තිය විධිමත් කිරීමේ වැඩසටහන් මාලාවක් ආරම්භ කර ඇත. අධිකරණ, රාජ්‍ය භාෂා හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පෙන්වා දෙන්නේ, භාෂාමය පරතරය අවම කිරීම තුළින් ජනතාව අතර පවතින සැකය දුරු කර විශ්වාසය ගොඩනැගිය හැකි බවයි.

“බස වඩමු – හද දිනමු” තේමාව යටතේ ක්‍රියාත්මක වන මෙම වැඩසටහන හුදෙක් රාජ්‍ය සේවයට පමණක් සීමා නොවූ ජාතික ව්‍යාපාරයක් ලෙස ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. රාජ්‍ය ආයතනවලදී මහජනතාවට සිය මව් භාෂාවෙන් සේවාව ලබා ගැනීමේ අයිතිය තහවුරු කිරීම මෙහි මූලික අරමුණකි.

මෙම වැඩසටහන් මාලාවේ කොටසක් ලෙස උතුර සහ දකුණ යා කරමින් තරුණ තරුණියන් හුවමාරු කිරීමේ නේවාසික වැඩසටහනක් ද දියත් කෙරේ. සති කිහිපයක් පුරා ක්‍රියාත්මක වන මෙම වැඩසටහන මගින් අන්‍යෝන්‍ය සංස්කෘතීන් සහ ජීවන රටාවන් අත්විඳිමින් භාෂාමය කුසලතා වර්ධනය කර ගැනීමට තරුණ පරපුරට අවස්ථාව උදාවේ.

පාසල් දරුවන් අතර සහජීවනය පිළිබඳ ආකල්ප ගොඩනැගීම සඳහා කලාත්මක අංශ ඔස්සේ වැඩසටහන් රැසක් සංවිධානය කර ඇත. භාෂාව ඉගෙනීම යනු හුදෙක් වචන කටපාඩම් කිරීමක් නොව, අනෙකාගේ සංස්කෘතිය සහ හදවත තේරුම් ගැනීමක් බව අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version