ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ආසියා සහ පැසිෆික් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ සොනාලි ජේන්-චන්ද්‍රා මහත්මිය ඇතුළු නියෝජිත පිරිසක් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය. ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසාධන වැඩසටහනේ ප්‍රගතිය සහ රටේ ඔරොත්තු දීමේ හැකියාව පිළිබඳව මෙහිදී මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සිය ප්‍රශංසාව පළ කළහ.

ජුනි 24 සිට 30 දක්වා කාලය තුළ කොළඹ සිදු කළ සංචාරය නිම කරමින් පැවති මෙම හමුවේදී, විස්තීර්ණ අරමුදල් පහසුකම් (EFF) යටතේ ක්‍රියාත්මක වන ප්‍රතිසංස්කරණවල ප්‍රගතිය සමාලෝචනය කෙරිණි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබන අනෙකුත් රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාව ඉහළ ප්‍රගතියක් අත්කරගෙන ඇති බව නියෝජිත පිරිස පෙන්වා දුන්හ.

පවතින ආර්ථික ස්ථාවරත්වය තවදුරටත් පවත්වා ගැනීම සහ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය අඛණ්ඩව ඉදිරියට ගෙන යාම වැදගත් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අවධාරණය කළේය. ලබන සැප්තැම්බර් මාසයේදී පැවැත්වෙන 07 වන සමාලෝචනයේදී ශ්‍රී ලංකාවේ කාර්යසාධනය නිල වශයෙන් ඇගයීමට ලක් කෙරෙනු ඇත.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ, ආර්ථිකය ස්ථාවර කිරීම ප්‍රමුඛතාවක් වුවද, එහි අවසාන අරමුණ වන්නේ එම ප්‍රතිලාභ ජනතාවගේ ජීවන තත්ත්වය නංවාලීම සඳහා සෘජුවම යොමු කිරීම බවයි. බාහිර අභියෝග මධ්‍යයේ වුවද රට ප්‍රතිසාධන මාවතේ ස්ථිරව පවත්වාගෙන යාමට රජය කැපවී සිටින බව ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

මෙම හමුව සඳහා මහ බැංකු අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයෝ පිරිසක් එක්ව සිටියහ.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version