ඇමෙරිකා එක්සත් ජනපදයේ උපත ලබන ඕනෑම දරුවෙකුට ස්වයංක්‍රීයව පුරවැසිභාවය හිමිවන අයිතිය අහෝසි කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය ගෙන ආ විධායක නියෝගය එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර ඇත. මෙම තීන්දුව ලබා දී ඇත්තේ විනිසුරුවරුන් හය දෙනෙකුගේ සහය සහ තිදෙනෙකුගේ විරුද්ධත්වය මතය.
අගවිනිසුරු ජෝන් රොබට්ස් ප්‍රමුඛ බහුතර විනිසුරුවරුන් පෙන්වා දුන්නේ ඇමෙරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වැනි සංශෝධනයට අනුව එරට භූමිය තුළ උපත ලබන සියලුම දරුවන්ට පුරවැසිභාවය හිමිවන බවයි. එම දරුවන්ගේ දෙමාපියන්ගේ සංක්‍රමණික තත්ත්වය හෝ ඔවුන් රට තුළ රැඳී සිටින නීත්‍යානුකූලභාවය මෙහිදී අදාළ නොවන බව අධිකරණය අවධාරණය කළේය.
මෙම තීන්දුව සඳහා 1898 වසරේදී ලබාදුන් ඓතිහාසික ‘United States v. Wong Kim Ark’ නඩු තීන්දුව පදනම් කරගෙන ඇත. එමගින් ඇමෙරිකාවේ උපත ලබන දරුවන්ගේ පුරවැසි අයිතිය තහවුරු කර තිබිණි. කෙසේ වෙතත්, විනිසුරු සැමුවෙල් ඇලිටෝ, ක්ලැරන්ස් තෝමස් සහ නීල් ගෝර්සච් යන විනිසුරුවරුන් මෙම තීන්දුවට සිය විරෝධය පළ කර තිබුණි.
ජනාධිපති ට්‍රම්ප්ගේ දෙවන ධුර කාලය තුළ ඔහුගේ සංක්‍රමණ ප්‍රතිපත්තිවලට එල්ල වූ ප්‍රබලම නීතිමය පසුබෑම ලෙස මෙය සැලකේ. ව්‍යවස්ථාව සංශෝධනයකින් තොරව වුවද, කොංග්‍රසයට නව නීතියක් මගින් මෙම අයිතියට සීමා පැනවිය හැකිද යන්න පිළිබඳව විනිසුරු බ්‍රෙට් කැවනෝ සිය වෙනම මතයක් ඉදිරිපත් කර තිබිණි.
කෙසේ වුවද, වත්මන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවත් සමඟ නීතිවිරෝධී හෝ තාවකාලික සංක්‍රමණිකයන්ගේ දරුවන් ඇතුළු ඇමෙරිකාවේ උපත ලබන සියලුම දරුවන්ට උපන් මොහොතේ සිටම පුරවැසිභාවය හිමිවන අයිතිය තවදුරටත් සුරක්ෂිතව පවතී.
