2026 ජුනි මාසය සඳහා වන කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව, මෙරට වාර්ෂික උද්ධමනය 6.8%ක් ලෙස වාර්තා වී තිබේ. මැයි මාසයේදී මෙම අගය 5.5%ක් ලෙස පැවති අතර, එය සැලකිය යුතු ලෙස ඉහළ යාමක් පෙන්නුම් කරයි.

මැදපෙරදිග පවතින නොසන්සුන්කාරී තත්ත්වයන් හේතුවෙන් ලෝක වෙළඳපොලේ බලශක්ති මිල ගණන් ඉහළ යාම, මෙරට උද්ධමනය ඉහළ යාමට ප්‍රධානතම හේතුව වී ඇති බව මහ බැංකුව පවසයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය 8.4% දක්වා වර්ධනය වී ඇත.

එමෙන්ම, ආහාර කාණ්ඩයේ උද්ධමනයද මැයි මාසයේ පැවති 0.9% සිට ජුනි මාසයේදී 3.6% දක්වා ඉහළ ගොස් තිබේ. විශේෂයෙන්ම එළවළු සහ මාළු මිල ගණන් ඉහළ යාම මෙයට ප්‍රධාන වශයෙන් බලපා ඇත.

මහ බැංකුවේ මූලික උද්ධමන දර්ශකය (Core Inflation) ද සුළු වශයෙන් ඉහළ ගොස් ඇති අතර, එය 3.9% සිට 4.0% දක්වා වාර්තා වේ. ඉදිරි කාලසීමාව තුළ උද්ධමනය 5%ක ඉලක්කයට වඩා ඉහළ මට්ටමක පැවතිය හැකි බව මහ බැංකුව අපේක්ෂා කරයි.

කෙසේ වෙතත්, මැදපෙරදිග කලාපයේ පවතින අවිනිශ්චිත තත්ත්වය හේතුවෙන් ගෝලීය සහ දේශීය ආර්ථිකයට සිදුවිය හැකි බලපෑම් පිළිබඳව තවදුරටත් අවධානයෙන් පසුවන බවද මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version