කොළඹ නගරයේ සිදුවන නාගරික සංවර්ධන ව්‍යාපෘති මධ්‍යයේ වුවද, නගරයේ හරිත ආවරණය සහ ගස්වැල් ආරක්ෂා කිරීමට කොළඹ මහ නගර සභාව දැඩි කැපවීමකින් කටයුතු කරන බව නගරාධිපතිනී ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය අවධාරණය කරයි.

මෑතකදී ගාලු පාරේ පිහිටි පැරණි වෘක්ෂයක් අනුමැතියකින් තොරව කපා දැමූ සමාගමකට එරෙහිව පොදු දේපළ විනාශ කිරීමේ චෝදනා යටතේ නීතිමය පියවර ගැනීමට කටයුතු යොදා ඇති බව ඇය සඳහන් කළාය. ව්‍යාපාරික ආයතනවල නාමපුවරු පෙනෙන සේ සකසා ගැනීමට ගස් කපා ඉවත් කරන ලෙස ඉල්ලීම් කිරීමෙන් වළකින ලෙසද ඇය ව්‍යාපාරික ප්‍රජාවගෙන් ඉල්ලා සිටී.

සංවර්ධන කටයුතු සඳහා අවශ්‍යතාවක් මත ගස් ඉවත් කිරීමට සිදුවුවහොත්, ඒ සඳහා විධිමත් ක්‍රමවේද අනුගමනය කළ යුතු බව නගරාධිපතිනිය පෙන්වා දෙයි. මීට උදාහරණයක් ලෙස කොටුව දුම්රිය ස්ථානය සහ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය ආශ්‍රිතව තිබූ ගස් කිහිපයක් විද්‍යාත්මකව මුල් පිටින් ගලවා මල් පාර සහ විහාරමහාදේවි උද්‍යානයේ යළි රෝපණය කිරීමේ වැඩසටහන ඇය පෙන්වා දුන්නාය.

නගරයේ ස්වාභාවික උරුමයන් ආරක්ෂා කරගැනීම සඳහා මහජනතාවගේ සහ විවිධ ආයතනවල සහයෝගය අත්‍යවශ්‍ය බවත්, පරිසරය සුරැකීම වෙනුවෙන් සියලු පාර්ශ්ව සමඟ එක්ව කටයුතු කිරීමට සූදානම් බවත් නගරාධිපතිනිය වැඩිදුරටත් කියා සිටියාය.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version