චීන වාණිජ දෙපාර්තමේන්තුව සහ ICC ආයතනය එක්ව සංවිධානය කළ රාජ්‍ය පාලනය පිළිබඳ විශේෂ වැඩමුළුවකට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත දූත පිරිසක් චීනයේ සංචාරයක නිරත විය. මෙම දූත පිරිසට නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා ඇතුළු විවිධ දේශපාලන පක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරුන් එක්ව සිටියහ.
මෙම වැඩමුළුවේදී චීන ලක්ෂණ සහිත ප්රජාතන්ත්රවාදය, ජනාධිපති ෂී ජින්පිං මහතාගේ දේශපාලන චින්තනය සහ ‘සමස්ත ක්‍රියාවලි මහජන ප්රජාතන්ත්රවාදය’ වැනි තේමාවන් ඔස්සේ දීර්ඝ සාකච්ඡා පැවැත්විණි. එසේම චීන මහජන දේශපාලන උපදේශක සම්මේලනයේ ක්‍රියාකාරීත්වය පිළිබඳවද මෙහිදී අවධානය යොමු කෙරිණි.
සංචාරය අතරතුර ශ්‍රී ලංකා දූත පිරිසට චීන ජාතික මහජන කොංග්‍රසය ඇතුළු එරට ප්‍රධාන රාජ්‍ය ආයතනවල ව්‍යුහය සහ ක්‍රියාකාරීත්වය සෘජුව නිරීක්ෂණය කිරීමට අවස්ථාව උදාවිය.
මේ අතර, බීජිං නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සංවිධානය කළ ජාත්‍යන්තර තේ දින සැමරුම් උත්සවයටද නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න මහත්මිය ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූවාය.
මෙම වැඩසටහන් මාලාව සාර්ථක කර ගැනීමට සහාය දැක්වූ චීන වාණිජ දෙපාර්තමේන්තුවට, ICC ආයතනයට සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයට දූත පිරිස සිය ස්තූතිය පළ කර සිටිති.
