සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සංවිධානය කරනු ලබන එකොළොස්වන ජාතික අනතුරු නිවාරණ සතිය හෙට (ජූලි 06) සිට ජූලි 10 වැනිදා දක්වා දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට නියමිතය. වාර්ෂිකව මෙරට තුළ සිදුවන හදිසි අනතුරු හේතුවෙන් ජීවිත හානි මෙන්ම විශාල පිරිසක් ආබාධිත තත්ත්වයට පත්වීම සැලකිල්ලට ගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.
මෙම ජාතික වැඩසටහනේ සමාරම්භක උත්සවය හෙට පෙරවරු 11.00ට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවැත්වීමට නියමිතය. සෞඛ්‍ය අංශ, ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ රාජ්‍ය ආයතනවල ඒකාබද්ධ දායකත්වයෙන් මෙය ක්‍රියාත්මක වේ.
රජයේ රෝහල්වලට ප්‍රතිකාර සඳහා ඇතුළත් වන රෝගීන් අතරින් සැලකිය යුතු පිරිසක් මාර්ග අනතුරු, වැටීම්, දියේ ගිලීම් සහ සේවා ස්ථානවල සිදුවන අනතුරු හේතුවෙන් පීඩාවට පත්වූවන් බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. මෙම අනතුරු අවම කිරීම මගින් රටේ සමාජ හා ආර්ථික සංවර්ධනයට සිදුවන බලපෑම අවම කර ගැනීම මෙම වැඩසටහනේ මූලික අරමුණයි.
අනතුරු නිවාරණ සතියේ සෑම දිනයක්ම විශේෂ තේමාවන් යටතේ නම් කර ඇති අතර, ඒ අනුව මාර්ග අනතුරු, සේවා ස්ථානවල අනතුරු, නිවෙස් හා වැඩිහිටි නිවාසවල අනතුරු, දියේ ගිලීම් සහ පාසල් ආශ්‍රිත අනතුරු වැළැක්වීම සඳහා විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහන් දියත් කිරීමට නියමිතය. ජාතික වගකීමක් ලෙස සලකා මෙම වැඩසටහන් සඳහා උපරිම සහය ලබාදෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
