දිවයින පුරා අපරාධ සහ මත්ද්‍රව්‍ය නිවාරණය අරමුණු කරගනිමින් පොලීසිය විසින් දියත් කර ඇති දෛනික සෝදිසි මෙහෙයුම්වලදී සැකකරුවන් 780 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
පොලිස් මාධ්‍ය අංශය සඳහන් කළේ, ඊයේ (04) දිනයේදී සිදුකළ මෙම මෙහෙයුම්වලදී පුද්ගලයින් 27,965 දෙනෙකු පරීක්ෂාවට ලක් කළ බවයි.
අත්අඩංගුවට ගත් පිරිස අතර අපරාධවලට සෘජුව සම්බන්ධ පුද්ගලයින් 20 දෙනෙකු සහ විවෘත වරෙන්තුකරුවන් 415 දෙනෙකු වන බව පොලීසිය පවසයි.
මීට අමතරව, රථවාහන වැරදි සම්බන්ධයෙන්ද දැඩි නීතිමය පියවර ගෙන තිබේ. ඒ අනුව, බීමත්ව රිය පැදවූ පුද්ගලයින් 56 දෙනෙකු සහ අපරික්ෂාකාරීව රිය පැදවූ පුද්ගලයින් 119 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
සෙසු රථවාහන වැරදි සිදුකළ පුද්ගලයින් 4,030 දෙනෙකුට එරෙහිවද නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.
