ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමයේ 93 වැනි වාර්ෂික විද්‍යාත්මක සැසිවාරය කොළඹ සිනමන් ලයිෆ් හෝටලයේදී අද (26) ආරම්භ විය. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ, රටේ සමස්ත ජනතාවටම සාධාරණ සහ ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබාදීම රජයේ ප්‍රමුඛ අරමුණක් බවයි.

මෙහිදී අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් අවධාරණය කළේ මුඛ සෞඛ්‍ය යනු හුදෙක් දත්වල පැවැත්ම පමණක් නොව, එය පුද්ගලයෙකුගේ පෝෂණය, අධ්‍යාපනය සහ දෛනික ජීවිතයේ කාර්යක්ෂමතාව කෙරෙහි සෘජුවම බලපාන සාධකයක් බවයි. ලොව පුරා බිලියන 3.5කට අධික පිරිසක් මුඛ රෝගවලින් පීඩා විඳින බව පෙන්වා දුන් ඇය, ශ්‍රී ලංකාව තුළ ද පවතින දන්ත රෝග සහ මුඛ පිළිකා වැනි අභියෝග ජය ගැනීමට නිවාරණ සෞඛ්‍ය ක්‍රමවේද ශක්තිමත් කිරීමේ වැදගත්කම අවධාරණය කළාය.

පසුගිය දශක නවයකට අධික කාලයක් ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමය විසින් සිදුකරන ලද සේවාව ඇගයීමට ලක් කළ අග්‍රාමාත්‍යවරිය, වෛද්‍ය ක්ෂේත්‍රයේ නවීන තාක්ෂණය භාවිතයට සහ පර්යේෂණ කටයුතු දිරිමත් කිරීමට වෛද්‍ය ප්‍රජාවට ආරාධනා කළාය. විශේෂයෙන්ම දන්ත වෛද්‍ය ක්ෂේත්‍රයේ කාන්තා නියෝජනය ඉහළ යාම අගය කළ ඇය, ඔවුන්ට නායකත්ව සහ තීරණ ගැනීමේ අවස්ථා සමානව ලබාදීමේ අවශ්‍යතාව ද පෙන්වා දුන්නාය.

මෙම අවස්ථාව සඳහා සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි, ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමයේ සභාපති වෛද්‍ය ආනන්ද රත්නායක ඇතුළු දන්ත වෛද්‍ය විශේෂඥයින්, පර්යේෂකයන් සහ විද්වතුන් රැසක් සහභාගී වූහ. උත්සවයේදී දක්ෂතා දැක්වූ සිසුන් සහ පර්යේෂකයන් වෙත සම්මාන ප්‍රදානය කිරීම ද අග්‍රාමාත්‍යවරිය අතින් සිදු කෙරිණි.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version