ඩෙංගු මදුරු මර්දන වැඩසටහන් සඳහා නවීන විද්‍යාත්මක ක්‍රමවේද වන එන්නත් (Vaccines) සහ වොල්බැකියා (Wolbachia) බැක්ටීරියා ක්‍රමවේදය හඳුන්වා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව ප්‍රකාශ කළේ බස්නාහිර පළාතේ ඩෙංගු මර්දන වැඩසටහනක් ආරම්භ කරමිනි.
මේ වන විට වාර්තා වන සමස්ත ඩෙංගු රෝගීන්ගෙන් 52.5%ක්ම බස්නාහිර පළාතෙන් වාර්තා වන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. විශේෂයෙන්ම කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල රෝග ව්‍යාප්තිය ඉහළ මට්ටමක පවතින බැවින්, එම ප්‍රදේශ ආවරණය වන පරිදි විශේෂ මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කර ඇත.
ලෝකයේ රටවල් 41ක සාර්ථකව භාවිත වන එන්නත් ක්‍රමවේදය මෙරට සමාජයට හඳුන්වා දීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව අමාත්‍යවරයා සඳහන් කළේය. මීට අමතරව, ස්වභාවික බැක්ටීරියා ක්‍රමවේදයක් වන වොල්බැකියා වැඩසටහන ද ඩෙංගු පාලනය සඳහා යොදා ගැනීමට රජය අපේක්ෂා කරයි.
ජාතික ඩෙංගු මර්දන ඒකකයේ දත්තවලට අනුව, 2026 වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් 61,060ක් වාර්තා වී ඇති අතර මරණ 39ක් සිදුව තිබේ. රෝගීන්ගේ සංකූලතා අවම කිරීම සඳහා රෝහල්වල විශේෂ වාට්ටු සහ High Dependency Units (HDU) ස්ථාපිත කිරීමටත්, අවශ්‍ය වෛද්‍ය හා හෙද කාර්ය මණ්ඩල ලබා දීමටත් පියවර ගෙන ඇත.
ඩෙංගු රෝගය පාලනය කිරීම හුදෙක් සෞඛ්‍ය අංශවල පමණක් නොව, සමාජීය වගකීමක් බවත්, මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීම සඳහා මහජනතාවගේ දායකත්වය අත්‍යවශ්‍ය බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
