සහකාර පොලිස් අධිකාරී තනතුරට උසස්වීම් ලබාදීමේදී සිදුවූ බව කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් ගොනු කර ඇති පෙත්සමක් සලකා බැලූ පරිපාලන අභියාචන විනිශ්චය අධිකාරිය විසින් මෙම නියෝගය නිකුත් කරන ලදී. සභාපති විනිසුරු කේ.ටී. චිත්‍රසිරි මහතා ඇතුළු විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව කැඳවනු ලැබීය.
පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් 11 දෙනෙකුට පමණක් සහකාර පොලිස් අධිකාරී උසස්වීම් ලබාදීමත්, තමන් ඇතුළු සුදුසුකම් සපුරා සිටි අනෙකුත් නිලධාරීන් මගහැරීමත් අභියෝගයට ලක් කරමින් සහකාර පොලිස් අධිකාරීවරියක් සහ අධිකාරිවරුන් අටදෙනෙකු මෙම පෙත්සම ගොනු කර ඇත. තමන්ට 2018 වසරේ සිට ක්‍රියාත්මක වන පරිදි උසස්වීම් ලබාදෙන ලෙස ඔවුහු ඉල්ලා සිටිති.
පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා පෙන්වා දුන්නේ, පුරප්පාඩු තිබියදීත් නිශ්චිත පිරිසක් පමණක් සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවීම මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තිය යටතේ වන සමාන සැලකීමේ මූලධර්මය උල්ලංඝනය වී ඇති බවයි.
මෙම ගැටලුව සම්බන්ධයෙන් පරිපාලන අභියාචන විනිශ්චය අධිකාරියට අධිකරණ බලයක් නොමැති බවට පොලිස්පතිවරයා මීට පෙර දක්වා තිබූ ස්ථාවරය විනිසුරු මඩුල්ලේ දැඩි දෝෂදර්ශනයට ලක් විය. එවැනි ප්‍රකාශයන් පොලිස්පතිවරයාගේ ප්‍රතිරූපයට හානි විය හැකි බව පෙන්වා දුන් විනිසුරු මඩුල්ල, නීතිපතිවරයාගෙන් උපදෙස් ලබාගෙන ලබන 28 වන දින වන විට සිය ස්ථාවරය දැනුම් දෙන ලෙස පොලිස්පතිවරයාට නියම කළේය.
