මීගමුව බන්ධනාගාරය තුළ පසුගියදා ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබන බන්ධනාගාර නිලධාරීන්ගේ සුවදුක් විමසීම සඳහා අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා ඊයේ (06) පස්වරුවේ මීගමුව දිස්ත්‍රික් මහ රෝහල වෙත පැමිණියේය.

එහිදී අමාත්‍යවරයා රෝහල් කාර්ය මණ්ඩලය සහ වෛද්‍යවරුන් සමඟ සාකච්ඡා කරමින් තුවාල ලැබූ නිලධාරීන්ට ලබාදෙන ප්‍රතිකාර සහ ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව විමසා බැලීය. තුවාල ලැබූ නිලධාරීන්ට අවශ්‍ය සියලුම පහසුකම් කඩිනමින් ලබාදීමට පියවර ගන්නා ලෙසද ඔහු උපදෙස් ලබා දුන්නේය.

පවතින වාර්තාවලට අනුව, මෙම ගැටුමෙන් තුවාල ලැබූ බන්ධනාගාර නිලධාරීන් 23 දෙනෙකු මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ සහ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිති. මීට අමතරව, සිද්ධියෙන් තුවාල ලැබූ රැඳවියන් 54 දෙනෙකු ද මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වේ.

සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත්, වගකිවයුතු අමාත්‍යවරයා ලෙස සිදුවීම පිළිබඳව දැඩි අවධානයෙන් කටයුතු කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version