මීගමුව බන්ධනාගාරය තුළ පෙරේදා ආරම්භ වී ඊයේ (06) උදෑසන වන විට උත්සන්න වූ ගැටුම්කාරී තත්ත්වයක් හේතුවෙන් බන්ධනාගාර නිලධාරීන් 07 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 26 දෙනෙකු මියගොස් ඇත. මෙම ගැටුම් හේතුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයින් සහ රැඳවියන් ඇතුළු 100කට ආසන්න පිරිසක් තුවාල ලබා රෝහල්ගත කර තිබේ.
උදෑසන ආහාර ලබාදීම සහ රැඳවියන් බැලීමට පැමිණි පිරිසට අවස්ථාව ලබාදීම සඳහා නිලධාරීන් බන්ධනාගාරය තුළට ඇතුළු වූ අවස්ථාවේදී මෙම ගැටුම උත්සන්න වී ඇත. රැඳවියන් විසින් බන්ධනාගාර නිලධාරීන් ප්‍රාණ ඇපයට ගෙන පහරදීම් සිදුකර ඇති අතර, ශරීර අභ්‍යාස ඒකකයේ තිබූ යකඩ උපකරණ ආයුධ ලෙස භාවිත කර ඇත.
බන්ධනාගාරය තුළ තිබූ ඖෂධාලය කඩා ඇතැම් රැඳවියන් අධිමාත්‍රාවෙන් ඖෂධ ලබාගැනීම නිසා අසිහියෙන් හැසිරුණු බව වාර්තා වේ. තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකාය, පොලිසිය සහ යුද හමුදාව එක්ව මෙහෙයුමක් දියත් කළ අතර, බරපතළ තුවාල ලැබූ 14 දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යවා ඇත.
මූලික විමර්ශනවලට අනුව මෙම ගැටුම මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් රැඳවියන් දෙපිරිසක් අතර පැවති ආරවුලක් දුරදිග යාමෙන් හටගෙන ඇත. 600ක ධාරිතාවක් සහිත මීගමුව බන්ධනාගාරයේ 1800කට අධික පිරිසක් රඳවා සිටීම සහ පවතින දැඩි තදබදය මෙම තත්ත්වයට හේතු වී ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.
පාලනාධිකාරිය විසින් බන්ධනාගාරයේ රැඳවියන් සියලු දෙනා වෙනත් ස්ථාන වෙත මාරු කිරීමට පියවර ගෙන ඇති අතර, මේ වන විට බන්ධනාගාරය තුළ තිබූ සියලුම භාණ්ඩ හා උපකරණ විනාශ වී ඇත. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක වේ.
