මිනිස් වෙළඳාම සහ මිනිස් ජාවාරම් සම්බන්ධයෙන් පවතින නවතම ප්‍රවණතා, නීතිමය පසුබිම සහ ප්‍රතිපත්තිමය කරුණු පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වුණි. නියෝජ්‍ය කාරක සභා සභාපති හේමාලි වීරසේකර මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන සංවිධානය කර තිබුණේ ආරක්ෂක අමාත්‍යාංශයේ තැනැත්තන් වෙළඳාමට එරෙහි ජාතික කාර්යසාධක බලකාය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව එක්වය.

නීතිපති දෙපාර්තමේන්තුවේ විශේෂඥයින්ගේ සම්පත් දායකත්වයෙන් පැවති මෙම වැඩසටහනේදී, අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ හරිප්‍රිය ජයසුන්දර සහ රජයේ නීතිඥ සජිත් බණ්ඩාර යන මහත්ම මහත්මීන් කරුණු පැහැදිලි කළහ.

මෙහිදී අදහස් දැක්වූ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් සහ තැනැත්තන් වෙළඳාමට එරෙහි ජාතික කාර්යසාධක බලකායේ සභාපති විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා පෙන්වා දුන්නේ, මිනිස් වෙළඳාම වර්තමානයේදී ජාත්‍යන්තර අපරාධ ජාල සමඟ බද්ධ වෙමින් වඩාත් සංකීර්ණ වී ඇති බවයි. විශේෂයෙන්ම තාක්ෂණය භාවිතයෙන් සිදු කෙරෙන වංචනික බඳවා ගැනීම්, බලහත්කාරී ශ්‍රමය සහ ලිංගික සූරාකෑම් වැනි අභියෝගවලට මුහුණ දීම සඳහා ජාතික මට්ටමේ ශක්තිමත් ප්‍රතික්‍රියාවක් අවශ්‍ය බව ඔහු අවධාරණය කළේය.

තැනැත්තන් වෙළඳාමට එරෙහි ජාතික කාර්යසාධක බලකායේ 2026–2030 ජාතික උපායමාර්ගික ක්‍රියාකාරී සැලැස්ම පිළිබඳවද මෙහිදී මන්ත්‍රීවරුන් දැනුවත් කරන ලදී. වැළැක්වීම, ගොදුරු වූවන් ආරක්ෂා කිරීම, නීතිමය ක්‍රියාමාර්ග ශක්තිමත් කිරීම සහ ආයතනික සහයෝගිතාව යන ප්‍රධාන අංශ හතරක් ඔස්සේ මෙම සැලැස්ම ක්‍රියාත්මක වේ.

මෙම අවස්ථාව සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, අමාත්‍ය ආනන්ද විජේපාල, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර ඇතුළු මැති ඇමතිවරුන් සහ ආරක්ෂක අංශ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version