ඩිත්ව සුළි කුණාටුවෙන් පීඩාවට පත් වූ ජනතාවට ස්ථිර නිවාස සහ ඉඩම් හිමිකම ලබාදීමේ වැඩසටහනක් පසුගියදා උඩුදුම්බර බටුමුල්ල විද්‍යාලයේදී පැවැත්විණි. කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය සංවිධානය කර තිබුණි.

මෙම වැඩසටහන යටතේ තෙක්කවත්ත වතුයායට අයත් අක්කර 30ක ඉඩම් ප්‍රමාණයක් අවතැන් වූ පවුල් 114ක් වෙත බෙදා දීමට පියවර ගෙන ඇත. එම පවුල්වලට සිය නිවාස ඉදිකර ගැනීම සඳහා රුපියල් ලක්ෂ 5 බැගින් ලබාදීමට රජය තීරණය කර ඇති අතර, එහි මූලික වාරිකය ලෙස රුපියල් 200,000 බැගින් වූ චෙක්පත් මෙහිදී ප්‍රදානය කෙරිණි.

උත්සවය අමතමින් අමාත්‍යවරයා සඳහන් කළේ, ආපදාවට ලක්වූ ජනතාවට පෙරට වඩා යහපත් ජීවිතයක් උදාකර දීම රජයේ වගකීම බවයි. නිසි නීතිමය ක්‍රියාපටිපාටි අනුගමනය කරමින් ජනතාවට අවශ්‍ය සහන ලබාදීමට රජය කැපවී සිටින බවද ඔහු අවධාරණය කළේය.

මෙම අවස්ථාව සඳහා මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී බස්නායක මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් විශාල පිරිසක් එක්ව සිටියහ.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version