ඉදිරි අයවැයෙන් සෑම දිස්ත්‍රික්කයකටම වෙනම මුදල් සංචිතයක් ලබා දීමට රජය සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති දිස්ත්‍රික් ලේකම් සමුළුවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

මෙම මුදල් සංචිතවල මූලික අරමුණ වන්නේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම්වලදී මතු වන හදිසි මාර්ග, පාලම් හෝ ගොඩනැගිලි ප්‍රතිසංස්කරණ කටයුතු මධ්‍යම රජයේ අනුමැතිය ලැබෙන තෙක් ප්‍රමාද නොවී, දිස්ත්‍රික් ලේකම්වරුන් හරහා කඩිනමින් ඉටු කිරීමට අවස්ථාව සලසා දීමයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ, මහජන සේවාවන් වඩාත් කාර්යක්ෂම කිරීම රජයේ ප්‍රමුඛතාවක් බවයි. අධි අවදානම් සහිත ප්‍රදේශවල නැවත පදිංචි කිරීම් වැළැක්වීම සහ මධ්‍යම කඳුකරයේ භූමි කළමනාකරණය සඳහා විශේෂ අධිකාරියක් පිහිටුවීමේ කටයුතු පිළිබඳවද මෙහිදී අවධානය යොමු කෙරිණි.

එමෙන්ම, යුද්ධයෙන් අවතැන් වූ පවුල් 13,000ක් ලබන වසරේදී නැවත පදිංචි කිරීමට සැලසුම් කර ඇති බවත්, අතහැර දමා ඇති නිවාස ව්‍යාපෘති පිළිබඳ සමීක්ෂණයක් සිදු කර ඒවා ජනතාවට ප්‍රයෝජනවත් වන අයුරින් අවසන් කිරීමට පියවර ගන්නා බවත් ජනාධිපතිවරයා පැවසීය.

රාජ්‍ය සේවයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා ඵලදායීතාවෙන් තොර ආයතන ඉවත් කිරීම සහ සෞඛ්‍ය, අධ්‍යාපන ඇතුළු අත්‍යවශ්‍ය ක්ෂේත්‍රවල පුරප්පාඩු පිරවීමට කටයුතු යොදා ඇති බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version