ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තයේ ස්වර්ණමය යුගයක් උදා කරමින්, දිවයින පුරා විසිරී සිටින කුඩා තේ වතු හිමියන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ අරමුණින් ‘සිලෝන් ටී විලේජ්’ නමින් තේ ගම්මාන 500ක් ආරම්භ කිරීමට රජය පියවර ගෙන තිබේ.

මෙම වැඩසටහන මගින් තේ වගාකරුවන්ගේ නිෂ්පාදන ඵලදායිතාව ඉහළ නැංවීම, ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සහ තේ වගාව කෙරෙහි තරුණ පරපුර යළි ආකර්ෂණය කර ගැනීම අපේක්ෂා කෙරේ. 2030 වසර වන විට මෙරට තේ නිෂ්පාදනය කිලෝග්‍රෑම් මිලියන 400 දක්වා ඉහළ නැංවීම සහ අපනයන ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 2.5 දක්වා වැඩි කිරීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන ඉලක්කයයි.

මෙම ව්‍යාපෘතිය ප්‍රධාන අරමුණු හයක් ඔස්සේ ක්‍රියාත්මක වේ. ඒ යටතේ ගුණාත්මක තේ දලු සපයන කර්මාන්තශාලා 50ක් ස්ථාපිත කිරීම, පාරිසරික තිරසාරභාවය සුරැකීම සහ තේ වගාවට අමතර ආදායම් මාර්ග හඳුන්වා දීම සිදු කෙරේ. තවද, රසායනික පොහොර භාවිතය 10%කින් අඩු කරමින් පුනර්ජනනීය කෘෂිකාර්මික පිළිවෙත් ප්‍රවර්ධනය කිරීමද මෙහි අරමුණකි.

ජාතික වැවිලි ප්‍රතිපත්තියට අනුකූලව ක්‍රියාත්මක වන මෙම වැඩපිළිවෙළ මගින් කුඩා තේ වතු හිමියන් හුදු වගාකරුවන්ගෙන් ඔබ්බට ගොස් කෘෂි ව්‍යාපාරිකයන් ලෙස සවිබල ගැන්වීමට රජය අපේක්ෂා කරයි. එමගින් රටේ සමස්ත ආර්ථිකය ඉහළ නැංවීමට අවශ්‍ය ශක්තිමත් අඩිතාලමක් වැටෙනු ඇතැයි බලධාරීහු විශ්වාසය පළ කරති.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version