මීගමුව බන්ධනාගාරයේ පසුගිය දිනවල ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් එම පරිශ්‍රය මේ වන විට දැඩි ලෙස හානියට පත්ව තිබේ. සිද්ධියෙන් පුද්ගල ජීවිත 28ක් අහිමි වී ඇති අතර, තවත් පිරිසක් බරපතළ තුවාල ලබා රෝහල්ගත කර ඇත. මේ වන විට එම ස්ථානය අපරාධ ස්ථානයක් ලෙස නම් කර මුද්‍රා තබා තිබේ.

ගැටුම අතරතුර රැඳවියන් විසින් බන්ධනාගාරයේ සී.සී.ටී.වී පද්ධතිය, බෙහෙත් ගබඩාව, කාර්යාල සහ සිරුරු ස්කෑනර් යන්ත්‍ර ඇතුළු අත්‍යවශ්‍ය සම්පත් රැසක් විනාශ කර දමා ඇත. මූලික ඇස්තමේන්තු වලට අනුව සිදුව ඇති දේපල හානිය රුපියල් කෝටි 12කට අධික බව වාර්තා වේ.

ආරක්ෂක පියවරක් ලෙස මීගමුව බන්ධනාගාරයේ සිටි රැඳවියන් බූස්ස සහ අඟුණකොළපැලැස්ස ඇතුළු දිවයිනේ වෙනත් බන්ධනාගාර වෙත මාරු කර යවා තිබේ. බන්ධනාගාරය ප්‍රතිසංස්කරණය කරන තෙක් ගාල්ල මහමෝදර සහ මහනුවර පැරණි බෝගම්බර පරිශ්‍රයන් තාවකාලිකව බන්ධනාගාර ලෙස භාවිත කිරීමට රජය පියවර ගෙන ඇත.

මෙම ගැටුම හදිසියේ ඇතිවූවක් නොව, බන්ධනාගාරය තුළ කලක සිට පැවති දූෂණ ක්‍රියා සහ පාතාල කල්ලිවල බලපෑම්වල ප්‍රතිඵලයක් බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ සම්බන්ධයෙන් පුළුල් විමර්ශන ආරම්භ කර ඇති අතර, සිද්ධියට සම්බන්ධ ප්‍රධාන පාර්ශවයන් පිළිබඳව තොරතුරු හෙළි වෙමින් පවතී.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version