රාජ්‍ය භාෂා දිනය සැමරීම වෙනුවෙන් සංවිධානය කළ රාජ්‍ය භාෂා සතියට සමගාමීව, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පාසල් සිසුන් සඳහා ප්‍රශ්න විචාරාත්මක තරගාවලියක් පැවැත්විණි. මෙම තරගාවලියේ අවසන් මහා තරගය පසුගිය 10 වැනිදා පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය අභිරූ ශාලාවේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වුණි.
ජූනි 30 වැනිදා සිට ජූලි 10 වැනිදා දක්වා පැවති මෙම වැඩසටහන් මාලාව සඳහා දිඹුලාගල සහ හිඟුරක්ගොඩ අධ්‍යාපන කලාපවල පාසල් රැසක් සහභාගී විය. අවසන් වටය සඳහා දිඹුලාගල මැදගම මහා විද්‍යාලය සහ හිඟුරක්ගොඩ විජිත මධ්‍ය මහා විද්‍යාලය සුදුසුකම් ලැබීය.
තීරණාත්මක තරගයකින් අනතුරුව එහි ශූරතාව හිඟුරක්ගොඩ විජිත මධ්‍ය මහා විද්‍යාලය විසින් දිනාගත් අතර, අනුශූරතාව මැදගම මහා විද්‍යාලයට හිමිවිය. දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරීන්ගෙන් සමන්විත විනිශ්චය මණ්ඩලයක් විසින් තරගයේ විනිශ්චය කටයුතු සිදු කරන ලදී.
සිසුන් අතර භාෂා දැනුම වර්ධනය කිරීම සහ ජාතික ඒකාබද්ධතාව ප්‍රවර්ධනය කිරීම මෙම වැඩසටහනේ මූලික අරමුණයි. පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ජාතික ඒකාබද්ධතා ප්‍රවර්ධන නිලධාරිනී සුජීවනී පිටිගල මහත්මියගේ සංවිධානයෙන් පැවති මෙම වැඩසටහන සඳහා අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ජාතික භාෂා අංශය මගින් මූල්‍ය දායකත්වය ලබා දී තිබුණි.
