කෘෂිකර්ම ක්ෂේත්රය සම්බන්ධයෙන් බලධාරීන් අනුගමනය කරන අදූරදර්ශී තීරණ සහ ගොවීන්ට එල්ල කරන අපහාස උපහාස හේතුවෙන් සමස්ත ගොවි ප්‍රජාවම දැඩි පීඩාවකට ලක්ව ඇති බව ‘දේශයේ ගොවි හඬ’ සංවිධානය පවසයි. නුවරඑළියේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔවුන් අවධාරණය කළේ, වහාම ක්‍රියාත්මක වන පරිදි අදාළ අමාත්‍යවරුන් එම තනතුරුවලින් ඉවත් කර කෘෂිකර්ම විෂය ජනාධිපතිවරයා විසින් භාරගත යුතු බවයි.
මෙම මාධ්‍ය හමුවට එක්වූ එම සංවිධානයේ සභාපති තරිඳු රත්නායක මහතා සඳහන් කළේ, වී, එළවළු සහ අර්තාපල් ගොවීන්ගේ ආර්ථිකය මේ වන විට බරපතල ලෙස කඩා වැටී ඇති බවයි. දේශීය ගොවියාගේ නිෂ්පාදනවලට නිසි මිලක් නොලැබීම සහ ආනයනික අර්තාපල් වැනි දේ හේතුවෙන් දේශීය නිෂ්පාදකයා අසරණ වී ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.
“විෂය පිළිබඳ මනා දැනුමක් ඇති ජනාධිපතිවරයා කෘෂිකර්ම අමාත්‍යාංශය භාර ගන්නේ නම්, ගොවීන් ලෙස අපි ඔහු සමඟ එක්ව නව ගමනක් යාමට සූදානම්,” යැයි රත්නායක මහතා වැඩිදුරටත් පැවසීය. එසේ නොමැති වුවහොත් ඉදිරියේදී දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග සහ උද්ඝෝෂණවලට අවතීර්ණ වීමට සිදුවන බවද ඔහු අනතුරු ඇඟවීය.
එහිදී අදහස් දැක්වූ නුවරඑළිය තරුණ ගොවි සභාවේ ලේකම් හසිත වීරසිංහ මහතා කියා සිටියේ, ගොවියා රජ කරවන බවට දේශපාලන වේදිකාවල පම්පෝරි ගැසුවද, ප්‍රායෝගිකව සිදුවන්නේ ගොවියා විහිළුවකට ලක් කිරීමක් බවයි. ගොවියා සැබෑ ව්‍යවසායකයෙකු ලෙස ගොඩනැගීමට අවශ්‍ය නිවැරදි ප්‍රතිපත්ති සකස් කරන ලෙසද ඔහු රජයෙන් ඉල්ලා සිටියේය.
කෘෂිකර්ම ක්ෂේත්රයට සිදුවන අසාධාරණයන් සහ ගොවීන්ට එල්ල කරන අපහාසයන් සම්බන්ධයෙන් වගකිවයුත්තන්ට එරෙහිව අනාගතයේදී නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටද තමන් සූදානම් බව එම සංවිධාන නියෝජිතයින් මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළහ.
