පරිසර ස්වාභාවික සම්පත්, කෘෂිකර්මාන්තය හා තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී වී මිලදී ගැනීම සහ සහල් අවශ්‍යතාව පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිතව තිබුණද, තමන්ට එහිදී අදහස් දැක්වීමට අවස්ථාව ලබා නොදීමට රජය පියවර ගෙන ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
මෙම කාරක සභාවේ සභාපතිවරයා වෙත රජය විසින් ලබා දී ඇති උපදෙස් මත තමන්ට නිරීක්ෂකයෙකු ලෙස පමණක් සහභාගී විය හැකි බවත්, අදහස් පළ කිරීමට නොහැකි බවත් ඔහු පෙන්වා දෙයි. මෙය විපක්ෂයේ හඬ මර්දනය කිරීමේ ප්රජාතන්ත්ර විරෝධී ක්‍රියාවක් බව විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
ගොවි ජනතාව මුහුණ දෙන ගැටලු පාර්ලිමේන්තුවේදී මතු කිරීමෙන් අනතුරුව පමණක් වී සඳහා ස්ථාවර මිලක් ප්‍රකාශයට පත් කිරීමට රජය කටයුතු කළ බවත්, එසේ තිබියදීත් වත්මන් රජය ස්ථාවර නියෝගවලට මුවා වී ගොවීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම වැළැක්වීමට උත්සාහ කරන බවත් ඔහු චෝදනා කරයි.
හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ ආයතනය විසින් වී කිලෝවක නිෂ්පාදන වියදම රුපියල් 137ක් ලෙස පෙන්වා දී තිබියදීත්, රජය විසින් අඩු මිලට වී මිලදී ගැනීමට කටයුතු කිරීම අසාධාරණ බව ප්‍රේමදාස මහතා පවසයි. ගොවි ජනතාව වෙනුවෙන් ලබා දිය යුතු සාධාරණ මිල සහ ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පාර්ලිමේන්තුව තුළ සහ ඉන් පිටත අඛණ්ඩව සටන් කරන බව ඔහු අවධාරණය කළේය.
