ජෝර්දානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් අකාබා කලාපයේ පිහිටි ප්‍රධාන පෙළේ ඇඟලුම් කර්මාන්තශාලා කිහිපයක් නිරීක්ෂණය කිරීමේ වැඩසටහනක් පසුගියදා සාර්ථකව නිම කරන ලදී. මෙම කර්මාන්තශාලාවල ශ්‍රී ලාංකිකයින් 1,500කට අධික පිරිසක් සේවය කරති.
ජෝර්දානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ වැඩබලන ප්‍රධානී ගජිත්‍රා නාවන් මහත්මිය ඇතුළු දූත පිරිස මෙම කර්මාන්තශාලා වෙත ගොස් එහි කළමනාකාරිත්වය සමඟ සාකච්ඡා පැවැත්වූහ. එහිදී ශ්‍රී ලාංකික සේවකයින්ගේ සේවා කොන්දේසි, සුබසාධන කටයුතු සහ ඉදිරි රැකියා අවස්ථා පිළිබඳව විශේෂ අවධානයක් යොමු කෙරිණි.
කර්මාන්තශාලාවල සේවය කරන ශ්‍රී ලාංකිකයින් හමුවූ තානාපති කාර්යාල නිලධාරීන් ඔවුන් මුහුණ දෙන ගැටලු පිළිබඳව විමසා බැලූහ. ශ්‍රී ලංකාවේ කීර්තිනාමය ආරක්ෂා කරමින් විනයගරුකව සහ කැපවීමෙන් තම රාජකාරි කටයුතු සිදු කරන ලෙස ඔවුන් එහිදී සේවකයින් දිරිමත් කළහ.
මෙම සංචාරයට සමගාමීව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ උපදේශක ජී.ආර්.එස්. ගුණවර්ධන මහතා විසින් මිනිස් ජාවාරම් සහ ආරක්ෂිත සංක්‍රමණය පිළිබඳව දැනුවත් කිරීමේ දේශනයක් පැවැත්වීය. එසේම, තානාපති කාර්යාලයේ කොන්සියුලර් සේවාවන් පිළිබඳව ද සේවකයින් දැනුවත් කිරීමට පියවර ගෙන තිබේ.
සේවකයින්ගේ ආරක්ෂාව සහ සුබසාධනය තහවුරු කිරීම අරමුණු කරගනිමින් ක්‍රියාත්මක කළ මෙම වැඩසටහන, කර්මාන්තශාලා කළමනාකාරිත්වය සහ තානාපති කාර්යාලය අතර සම්බන්ධීකරණය තවදුරටත් ශක්තිමත් කිරීමට ඉවහල් විය.
