මීගමුව බන්ධනාගාරය තුළ සිදු වූ බන්ධනාගාර නිලධාරීන් සහ රැඳවියන් ඇතුළු පිරිසක් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කර තිබේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට බන්ධනාගාර නිලධාරීන් ඇතුළු 287 දෙනෙකුගෙන් ප්‍රකාශ ලබාගෙන ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
පරීක්ෂණවලදී අනාවරණය වී ඇති පරිදි, බන්ධනාගාරය තුළ ඇති වූ ගැටුම ආරම්භ වී ඇත්තේ ව්‍යායාම කිරීමට ලබා දුන් කාලය ප්‍රමාණවත් නොවන බව පවසමින් රැඳවියෙකු සිදු කළ විරෝධතාවක් හේතුවෙනි. මෙම තත්ත්වය පාලනය කිරීමට යාමේදී බන්ධනාගාරයේ පාලනය සම්පූර්ණයෙන්ම රැඳවියන් අතට පත්ව ඇති අතර, පසුදින වන තුරුම එම තත්ත්වය පැවති බව සීඅයිඩීය අධිකරණයට දන්වා සිටියේය.
සිද්ධිය පාලනය කිරීම සඳහා කොළඹින් බන්ධනාගාර පොලිස් නිලධාරීන් 89 දෙනෙකු කැඳවීමට සිදුවූ බවත්, එහිදී රැඳවියන් විසින් අවි ගබඩාව කඩා ගිනි අවි පැහැරගෙන වෙඩි තැබීම් සිදු කර ඇති බවත් විමර්ශනවලදී හෙළි වී ඇත. මෙම ගැටුමෙන් බන්ධනාගාර නිලධාරීන් 10 දෙනෙකු සහ රැඳවියන් 21 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.
අධිකරණය හමුවේ කරුණු දැක්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන්ට එරෙහිව මිනීමැරුම්, ගිනි අවි පනත සහ පොදු දේපළ පනත යටතේ නඩු පවරන බව තහවුරු කළේය. එමෙන්ම, විනාශ වූ සීසීටීවී දෘඩ තැටි මොරටුව විශ්වවිද්‍යාලයට යොමු කිරීමටත්, සිද්ධියට අදාළ සියලුම රැඳවියන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීමටත් මීගමුව ප්‍රධාන මහෙස්ත්‍රාත් ශිලනි පෙරේරා මහත්මිය අවසර ලබා දුන්නාය.
