ඕස්ට්‍රේලියාවේ කැන්බරා හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය විසින් සිඩ්නි නුවර වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව වෙත සේවා සැපයීමේ අරමුණින් විශේෂ ජංගම කොන්සියුලර් සේවා වැඩසටහනක් සංවිධානය කර තිබුණි. මෙම වැඩසටහන අප්‍රේල් මාසයේදී සහ ජූලි 04 වන දින සිඩ්නි හි ග්ලෙන්වුඩ් ප්‍රජා මධ්‍යස්ථානයේදී පැවැත්විණි.

මෙම ජංගම සේවාව හරහා සිඩ්නි සහ ඒ අවට ප්‍රදේශවල වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට සිය නිවෙස්වලට ආසන්න ස්ථානයක සිට අත්‍යවශ්‍ය කොන්සියුලර් සේවා ලබා ගැනීමට අවස්ථාව හිමිවිය. මහ කොමසාරිස් කාර්යාලය සහ ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව අතර පවතින සබඳතා ශක්තිමත් කර ගැනීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණක් විය.

පැවැත්වූ මෙම ජංගම සේවා වට දෙක තුළදී රුපියල් මිලියන දහයකට අධික ආදායමක් උපයා ගැනීමට හැකි වී ඇති අතර, එය එම ප්‍රජාව තුළ පවතින සේවා ඉල්ලුම මනාව පැහැදිලි කර දෙයි. මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජ්‍ය මහ කොමසාරිස් විශ්වනාත් අපොන්සු, අනුයුක්ත නිලධාරිනී ගිහානි ජයසිරි සහ කොන්සියුලර් නිලධාරී මනෝජ් අමරසිංහ යන මහත්ම මහත්මීන් විසින් මෙම සේවාවන් මෙහෙයවනු ලැබීය.

මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා සහයෝගය දැක්වූ ‘පුනරුද’ සංවිධානය ඇතුළු සියලුම ස්වේච්ඡා සේවකයන්ට සහ ශ්‍රී ලාංකික ප්‍රජාවට මහ කොමසාරිස් කාර්යාලය සිය ස්තූතිය පළ කර සිටී.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version